Friday, January 2, 2026

සමුදුර

 

සමුදුර 

උදේ හිම දැකලා ලියනකොට සමුදුර පත්තරය ගැන මතක් උනා. මම මේ පිටුව පටන් ගත්තේ මගේ ජීවිතයේ අත්දැකීම් ලියල තියන්න. සමුදුර කියන්නේ ජීවිතයේ ලබපු රසවත් අත්දැකීමක් වගේම ලොකු motivation එකක් දුන්නු පත්තරයක්. සමුදුර ළමා කාලයේ මම ආසාවෙන්ම කියවපු පත්තරය. සමුදුර එක්කම බදාදට විදුසරත් ගත්තා උනත් වඩාත්ම ආසාවෙන් ඉස්සෙල්ලම කියෙව්වේ සමුදුර.

අන්තර්ජාලය නොතිබුණු කාලෙක ඡායාරූප බලන්න,සිංහලෙන් ලිපි කියවන්න අපට තිබුණු හොඳම පත්තරයක් තමයි සමුදුර. මං පත්තරය ගන්න පටන් ගත්තෙ 1993. ඒ දවස් වල පලවුනේ බදාදට මතක හැටියට, මිල රුපියල් හයයි මුලින්, පසුව රුපියල් දහයක් උනා. පත්තරය ගැන මම දැනගත්තේ ඒ දවස් වල පාසලේ මගෙ හොදම මිතුරියගෙන්. ඇය දවසක් මේ පත්තරයකුත්, මුතුහර සගරාවකුත් පාසැලට ගෙනවා, මට කියවන්නත් දුන්නා.මේ වෙලාවෙ ඇයවත් මතක් වෙනවා වගේම ස්තූතිවන්ත වෙනවා ඇයට.

සමුදුර පත්තරයේ පළවුණේ National geographic, Times, Readers digest වගේ ලෝක ප්‍රකට සඟරාවල ලිපිවල සිංහල අනුවාද, ලස්සන ඡායාරූපත් එක්කම. මේ වගේ සඟරා ලෝකයේ තියෙනවා කියලා මං දැනගත්තෙත් මේ පත්තරය නිසා. මේ පත්තරේ පළවුණු ආසාවෙන්ම කියවපු ලිපි පෙළක් තමයි Chicken soup for soul කියන පොත් වල සිංහල අනුවාද. පසු කාලෙක ඒ පොත් මාලාවේ පළවෙනි පොත මිලදී අරගෙන කියවන්නටත් මට මේ පත්තරයෙන් කියවල තිබ්බ ලිපි පෙළඹවීමක් ඇති කරා.

වර්තමානයේ ලාංකීය සමාජ මාද්‍ය වල සතියකට මාතෘකාවක් උනුසුම් වෙනවා වගේ ඒ දවස්වල සමුදුර පත්තරෙත් කාලීනව සිදුවෙන සිදුවීම් ගැන ලොකුවටම අතිරේක පලවුනා. බ්‍ර්තාන්‍යයේ ඩයනා කුමරිය සහ ඉන්දියාවේ තෙරේසා මව්තුමිය යන දෙදෙනාම මියගිය 1997 අවුරුද්දේ දෙදෙනා වෙනුවෙන් චායාරූප විශාල ප්‍රමායක් එක්ක විශේෂ අතිරේක පළ වුණා මට හොඳටම මතකයි.  එක කලාපයක දැන් ඉන්න බ්‍රිතාන්‍ය රැජින ගැන අපහාසාත්මක වැකි එක්ක චායාරූප පල කරල තිබුනා. ඒකෙ තිබුනෙ "ඩයනා නැති කලේ, කැමිලා මැටි කලේ" කියලා. ඇය පෞරුශත්වයෙන් ඉතාම සුන්දර කාන්තාවක් බව පසු කාලීනව කියවන්නට ලැබුනත් ඇගේ චායාරූප දකින හැම වතාවකම මට සමුදුර පත්තරේ වැකිය මතක් වෙනවා, හිනා යනවා. 

ජීවිතයේ පසු කාලයක සමුදුර ලිපි වලට පසුබිම සැපයූ මුල් ඉංග්‍රීසි සඟරාවල් කියවන්න මට ආස හිතුනේ පත්තරේ තිබුණු ලිපි වලින් පෙලබවීමක් තිබූ නිසා. ඒ තැන් වලට කවද හරි යන්න ඕන කියලා වයස අවුරුදු එකොහලක මට ඒ තරම් පුංචි වයසකදී හිතට ආවේ ඒ චායාරූප දැකලා. 

මුල් කාලයේ ස්වාධීනව පළවුනු මේ පත්තරේ පසු කලෙක තවත් පත්තරේක අතිරේකයක් බවට පත්වෙනවා. ඊට පස්සේ මුල් කාලේ පත්තරේ තිබුණු තත්ත්වය බාල වුනු බවයි මගේ හැඟීම. ඊට පස්සේ මං පත්තරේ ගන්න එක නවත්තල දානවා. නමුත් අවුරුදු ගණනාවක් ගත්ත පත්තර විශාල ප්‍රමානයක එකතුවක් සෑහෙන කාලයක් අපේ මහ ගෙදර තිබ්බා.මට නිවාඩුවක් ලැබුණහම මං ඒ පත්තර ආපහු පෙරලලා කියපු වාර අනන්තයි. පසු කලෙක ඒ පත්තර මිටිය වේයොත් කාලා විසි කරල දාන්න උනා කියලා අම්මා කිව්වා. ඒ වෙලාවෙ හිතට සියුම් දුකක් දැනුනු බව අදටත් මතකයි.

චයාරූපය - 1993 නොවැම්බර මස පලවූ කලාපයක් අන්තර්ජාලයෙන්

හිම ❄️

 

 හිම ❄️

අද උදේ නැගිට්ටෙ හිමේ සෙල්ලම් කරමුද අහන්න දුවගෙ යාලුව රෝසා ගත්ත දුරකතන ඇමතුමකින්. දැන් දිගටම හිම වැටෙන්න අරන්. දුව ඇද පැලදගෙන ගියාට පස්සෙ කෝපි කෝප්පයකුත් හදාගෙන ජනේලෙ ගාව තියෙන පුටුවෙන් වාඩිඋනා. මුලු පරිසරයම සුදු පාටයි. බලන්න ලස්සන හිම. ගස් වල අතුවල රැදුනු හිම පොකුරු. 

හිම දකින වාරයක් ගානෙ මට මතක් වෙන පරිසරයක් තියෙනවා. මතක් වෙන රටක් තියෙනවා. අවුරුදු තිස් ගානක් වෙනකම්ම හිම දැකල තිබ්බෙ නැති මම ඉස් ඉස්සෙල්ලාම හිම දැක්කෙ අතගෑවේ මීට හරියටම අවුරුදු දහයකට කලින් ජපානයේ කවගුචිකෝ ගමේදි. එතැනට ගියෙ ෆූජියාමා කන්ද බලන්න පුංචි කාලෙ ඉදන් තිබ්බ ආසාවක් හැබෑ කරගන්න. Bucket list කියල එකක් අහල වත් නැති කාලෙක, 1993 ලංකාවේ පලවුනු සමුදුර පත්තරේ තිබුනු,  national geographic සගරාවේ ලිපියක් ආස්‍රයෙන් කවුරු හරි ෆූජියාමා කන්ද ගැන ලියපු ලිපියක් කියවල ඒ එක්ක තිබ්බ ලස්සන පින්තූර දැකල ඇති උනු ආසාවක් ඒක. එතකොට මට වයස අවුරුදු එකොලහයි. එතැනට ගිහින් ජීවමානව ඒ පරිසරයේ අසිරිය විදිනකොට වයස තිස් තුනයි. 

ගුවන් තොටුපලේ ඉදන් දුමරියෙන් ගිහින් කවගුචිකෝ ගමේ නැවතුම්පලෙම් බැහැලා එලියට ආපු ගමන්, හිම අහුරක් අතට අරන් ගත්තු පින්තූරය තමයි මේ ලියමනට ඇමුනුවේ. ඒක මට විශේශ පින්තූරයක්. අද හිම හැමතැනම දැකල විශේශයක් නැති වෙලාම ගිහින්. නමුත් ඉපදුනු දා ඉදන් සමකයට ආසන්න රටක හැදිල වැඩිල කවදාවත් හිම හැබැහින් දැකල තිබ්බෙ නැති මට, අවුරුදු තිස් තුනේදි ලබපු ප්‍රතම හිම අත්දැකීම් හරිම ලස්සනයි. මම අත්වැසුම් නැතිවම හිම ඇල්ලුවා, හිමේ ඉදගත්තා, හිමේ පෙරලුනා, හිම මිනිසුන් හැදුවා. 

අද හිම දැක්කම, ඒකේ විශේශත්වයක් නැති උනත්, එදා ඒ ඇති උනු හැගීම අදටත් මතක් වෙනවා. එහෙම මතක් වෙද්දි, ජීවිතේ යම් කලකදී හිත උනුසුම් කරන දේවල් තවත් කලකදී ඉතාම සාමාන්‍ය කාරනා වෙලා යන හැටි ගැන මට ඇති වෙන්නෙ පුදුමයක්. කාලයේ බලපෑම වෙන්නැති ! 

චායාරූපය - කවගුචිකෝ ගමේදි අතට ගත්තු පලවෙනි හිම අහුර ❄️ 2016 ජනවාරි

My Oxford Year ( a movie )

My Oxford Year

අලුත් අවුරුද්දෙ බලපු පලවෙනිම චිත්‍රපටිය. 

සරල ආදර කතාවක්. චිත්‍රපටිය පුරාම තියෙන හිතට වැදෙන දෙබස් එක දිගටම ච්ත්‍රපටිය බලන්න කැමැත්තක් ඇති කරා. 

"We don't regret the things we do. We regret the things we don't do"

ජීවිතේ ගත්ත තීරන ගැන පසුතැවෙන්නෙ නැති එක මම පුහුනු කරපු දෙයක්. ඒ නිසාම මේ ච්ත්‍රපටියෙ එන මේ දෙබසට තමයි වැඩියෙන්ම කැමති. ගත්ත තීරන වලට පසුතැවෙන්නෙ නැති නිසාම, වර්තමානයේ දෙයක් කරන්න කලින් ඒ දේ කිරීම හෝ නොකිරීම ගැන අනාගතයේ මම පසු තැවෙයිද කියල දැන් හොදින් හිතල බලනවා. ඒ ඔස්සෙ හිතද්දි මට මතක් වෙන ප්‍රදානම දෙය 2021 දී ඒ වෙද්දි අවුරුදු තුනක් උනු මගෙ චූටි දුවව ලංකාවේ තියල ජර්මනියට වැඩිදුර අද්‍යාපන කටයුතු වලට එන්න ගත්ත තීරනය. ඒ වෙලාවේ මට යනවද නැද්ද කියල තීරනය කරන්න උදව් උනු ලොකුම නිර්නායකය උනේ අනාගතයේ මම වැඩියෙන්ම පසු තැවෙන්නෙ ඒ අවස්තාව ලබාගෙන ජර්මනියට ගියොත්ද එලෙස නොගිහින් පුරුදු රැකියාව කරන් පුරුදු පරිසරයේම දිගටම හිටියොත්ද කියලා හිතලා බලපු එක. තීරනය ගන්න ගොඩක් ලේසි උනා. 

ඒ වගේම හිතට වැදුනු අනිත් දෙබස තමයි

"You never know if a choice you make is right or wrong until you make it. But what matter is that, they are yours to make"

මේ කතාව අපේ ජීවිතයේ හැම දේටම අදාලයි කියල මට හිතෙනවා. ජීවිතේ හැමදේම choice එකක්. අඩන එක, හිනා වෙන එක, තරහ ගන්න එක, තරහ නොගන්න එක, ආඩම්බර වෙන එක, නිහතමානි වෙන එක, හැමදේම choice එකක්. මගෙ දුව මොකක් හරි දේකට ඇඩුවොත් මම එයාට කියන්නෙ it's your choice, you can choose to be happy, it's an option too කියලා. තේරීම නිවැරදි කරගත්තම ජීවත් වෙන්න පහසුයි.

Single parenting තනිකඩ අම්මා/ තාත්තා

 


Single parenting

තනිකඩ අම්මා/ තාත්තා


මේ ලෝකෙ දරුවන් සමග තනිවම ජීවත්වන අම්මලා තාත්තලා ගැන මට පුදුමාකාර ගෞරවයක් ඇති උනා මේ කාලයේ. ඒක මීට කලින් කවදාවත් ඇතිවෙලා තිබ්බෙ නැති හැඟීමක්.

කාලෙකින් නොලිව්වත් මේ ටික ලියල තියන්නම අද පිටුවට ආවා. 

දිලූප මේ ටිකේ ඉන්නේ ලංකාවේ. නොවැම්බර් ඉඳන් ජනවාරි මැද වෙනකම් දරුවාගේ වැඩ ටිකත් කරගෙන රැකියාවත් කරගෙන ඉන්න මට සිද්ධ වෙලා තියෙනවා. 

දරුවාව ඉස්කෝලෙට දාන්නෙ ගන්නෙ, කඩේ යන්නෙ, කෑම උයන්නෙ, රෙදි හෝදන්නෙ, නවන්නෙ, ගෙවල් අස් කරන්නෙ,අතුගාන්නෙ ඔක්කොම කරන්නෙ මම. මේ ඔක්කොම කරන්නෙ රැකියාවත් කරන ගමන්. දෙසැම්බර් නත්තල් මාසය කියන්නේ ජර්මනිය අතිශයින්ම කාර්යබහුල මාසය. රැකියාවේ මිතුරන් සමග මෙන්ම පෞද්ගලික ජීවිතයේ මිතුරන් සමග ගමන් බිමන් සාදවලට සහභාගි වීම් ඉවරයක් නෑ. ඒ වගේමයි දරුවාගේ මිතුරු හමුවීමුත්.

මේ ගැන දිලූප සමග කියූ විට ඔහු මහ හඩින් සිනාසී කිව්වෙ "ආහ් මාත් ඔහොම හිටියා, තේරෙනවා නේද දැන්" කියලා. ඔව් හොදටම තේරෙනවා, නමුත් ඔහුට උදව්වට හමුදාවක්ම හිටියා, උයන්නට කෙනෙක්, වත්ත සුද්ද කරන්න කෙනෙක් හිටියා. නමුත් මට කවුරුත්ම නැහැ. වෙනස ඒකයි. 

මේ නිසාම මේ තනි ජීවන අරගලය තමන්ගේ ජීවිතයේ දීර්ඝ කාලයක් දරුවන් ලොකු මහත් වන තුරුම සිදු කරන කොතරම් තනි මව්වරුන් පියවරුන් මේ ලෝකේ ඇතිද කියලා මට කල්පනා වෙනවා.ඒ තනි මව්වරුන්ගේ පියවරුන්ගේ ශක්තිය ගැන පුදුමාකාර ගෞරවයක් මට ඇතිවෙනවා. ඔවුන්ට තමන්ගේ ජීවන ගමනට අවශ්‍ය ශක්තිය හා මානසික සුවය 2026 වසරෙත් නොඅඩුවම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා !

Saturday, December 30, 2023

ස්තූතියි 2023❤️


 ස්තූතියි 2023 ❤️

එක පාරටම බ්ලොග් එකක් පටන් ගත්තට මොකද ඒක ලත් තැනම ලොප් උනා වගේ එතනම නැවතුනා. ඒකට හේතුව වුණේ මම මේ රටට ආපු හේතුව උනු මාස්ටර් උපාධිය මම සැලසුම් කරපු කාලයට වඩා ඉක්මනින්ම ඉවර කරන්නට වීමත් පශ්චාත් උපාධිය පටන් ගන්නට වීමත්. මම මේ බ්ලොග් අඩවිය සහ ෆේස්බුක් පිටුව පටන් ගන්නකොට පශ්චාත් උපාධියක් ගැන හිතේ අදහසක්වත් තිබ්බේ නැහැ. නමුත් දැන් තත්ත්වය ටිකක් වෙනස් වෙලා. ආපහු කොහෙන්ද පටන් ගන්නේ කියලා කල්පනා කරනකොට මට හිතුනා 2023 අවුරුද්ද ගෙවුන හැටි ගැන පුංචි සටහනක් ලියලාම ආපහු ලියන්න පටන් ගන්නවා කියලා.

2023 පටන් ගන්නකොට මට මේ අවුරුද්ද තුල කරන්න ඉලක්ක තුනක් තිබ්බා. එකක් උපාධිය ඉවර කිරීම. දෙක රැකියාවක් ලබා ගැනීම. මාස්ටර් උපාදියක් සාමාන්‍යයෙන් සෙමෙස්තර හතරක් උනත්, පස් වෙනි සෙමෙස්තරකට අයදුම් කරලා, නිබන්දනය ලියන ගමන් රැකියා වලට අයදුම් කරන්න තමයි මගෙ සැලසුම තිබුනේ. මගේ ගුවන් ගමන් බලපත්‍රය ලංකාවට නොයා අලුත් කරගන්න එකත් මේ අවුරුද්දෙ තිබ්බ තව අවශ්‍යතාවයක්. ඇයි ලංකාවට නොයා කියන එකට පිලිතුරක් ලිව්වොත්, මගෙ පර්‍යේශනයේ කටයුතු නිසා කාර්‍ය බහුල වීම, ඒ වෙද්දි මම නිරත වෙමින් සිටි විශ්ව විද්‍යාලය තුල සහ ඉන් පිට අමතර රැකියාවල් දෙකෙහි නිවාඩු ලබා ගැනීමෙ අපහසුතා වගේම ලංකාවට යෑමට ගතවන වියදමද බලපෑවා. අවුරුද්ද පටන් ගනිද්දි මට තිබුනේ මේ ඉලක්ක ටික විතරයි. නමුත් අද මේ අවුරුද්ද අවසාන වෙනකොට, මම ඊට වඩා සෑහෙන වැඩ ගොඩක් මේ අවුරුද්දෙ කරල වගේම 2023 කියන්නෙ මම මගෙ ජීවිතයේ ගත කරපු සාර්තකම අවුරුද්දක්. 


මුලින්ම මම අවුරුද්ද පටන් ගත්තෙ නව ගුවන් ගමන් බලපත්‍රයක් පිලිබදව මගෙ අවශ්‍යතාවය සදහන් කරලා ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඊමේල් පණිවිඩයක් යවලා. ඒ වෙද්දි මගේ ගමන් බලපත්‍රය කල් ඉකුත් වෙන්නට අවුරුදු එකහමාරමක් තිබුණා වුණත් මට වුවමනා වුණා මේ අවුරුද්දේ සැප්තැම්බර් වලට කලින් එය අලුත් කරගන්න, නැවත රැකියාවක් එක්ක වීසා අයදුම් කරනකොට ගමන් බලපත්‍රයේ කාලය ඉදිරියට තියෙන එක අවශ්‍ය කාරණයක් වෙයි කියලා මට හිතුන හින්දා. ඉතින් මම ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලට ඊමෙල් පණිවිඩයක් යොමු කරහම පිළිතුර එන්නේ කල් ඉකුත් වෙන්න වසරකටත් වැඩි කාලයක් තියෙන නිසා මට දැන්ම appointment එකක් ලබා දීමට නොහැකි බවත්, මා අයදුම් කල යුත්තේ කල් ඉකුත් වීමට මාස හයක කාලයක් තිබෙන විට බවත්, එයට පෙර නව ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය නම් එය ලංකාවට ගොස් කරගත යුතු බවත් දන්වලා. නමුත් එයින් නොපසුබසින මම ආපහු වතාවක් ඊමේල් පණිවිඩයක් ලියනවා මට ලංකාවට යන්නැතුව ගමන් බලපත්‍රය දිගු කරගන්න අත්‍යවශ්‍ය වෙලා තියෙන්නෙ ඇයි කියලා පැහැදිලි කරලා. මෙතනදි මට පුංචි වැරදීමක් වෙනවා. පුංචි කිව්වට ඒක පුංචිත් නෑ, ලොකු වැරදීමක්. මම මේ ඊමෙල් පණිවිඩය ලියන්නේ ජනවාරි මාසේ නමවෙනිදාවක. අවුරුද්දක ජනවාරි මාසේ මුල් දවස් කීපය කියන්නේ අපි කාටත් අවුරුද්ද වරදින දවස්. මට මෙතනදි මගේ ගමන් බලපත්‍රය කල් ඉකුත් වෙන්නේ 2024 වෙනුවට 2023 කියලා ලියවෙනව. ඒ ඊමේල් පණිවිඩ මට පිළිතුරක් වශයෙන් මට මගෙ අයදුම්පත සමග පැමිනෙන්නට දිනයක් සහ වෙලාවක් ලැබෙනවා.මට හරි සතුටු හිතෙනවා වැඩේ සාර්තක උනු නිසා. සතුට වැඩිකමට මං ආපහු මගේ ඊමෙල් පණිවුඩය බලනවා කලින් ඊමෙල් පණිවිඩයෙන් මගෙ අයදුම ප්‍රතික්‍ෂේප වෙලා තියෙද්දිත් දෙවෙනි පණිවිඩයෙන් පස්සෙ දිනයක් ලැබෙන්න තරම් මං මොනවද ඒකේ ලිව්වේ කියලා දැනගන්න. මම දකිනවා මට දිනය වැරදිලා කියලා. මම ආපහු ඒකට සමාව ඉල්ලලා, නිවැරදි කරලා ඊමෙල් පණිවිඩයක් යවනවා. එතනදි මට ආපහු පිළිතුර ලැබෙන්නේ මුල්ම පිලිතුරේ විදිහට මගෙ අයදුම ප්‍රතික්ශේප කරලා. මම ආපහු තනාපති කාර්‍යාලයට මගෙ දුක් ගැනවිල්ල ලියනවා. එතනදි මට ඊමේල් පනිවිඩයක් එනවා මගේ දුරකථන අංකය ලබා දෙන ලෙස. තානාපති කාර්යාලයේ නිලධාරියෙක් මට කතා කරනවා, එලෙස කතා කර මගේ අවශ්‍යතාවය නිසියාකරව දැනගෙන මට දන්වනවා, අදාල සියලුම ලිපි ලේඛන සමඟ ලිපියක් එවන්න විශේෂ අවසරයක් ලබාගන්න අවශ්‍යයි කියලා. මං ඒ ලිපිය යවනවා. ඒ අනුව මට නැවත මගෙ අයදුම්පත ඉදිරිපත් කිරීමට දිනයක් සහ වෙලාවක් ලැබෙනවා. ඉතිං ඔය විදිහට මගෙන් වෙච්ච වැරදි ඊමේල් පනිවිඩය නිවැරදි කළ නිසාම මගේ අවශ්‍යතාවය මට ඉටු කරගන්නට ඉඩ ලැබෙනව. මම ඒ වැරැද්ද නිවැරදි කර නොගෙන, විශේශ අවසරය ලබා නොගෙන, මට මුලින් දුන්න දිනයට ගියා නම් සමහරවිට මට ආපහු හැරී එන්නත් සිද්ධ වෙන්න තිබුණ බවත් මට නිලදාරියෙක් දන්නනවා.


ඉතින් අවුරුද්දේ මුලදිම මාර්තු මාසය වෙනකොට මම ගමන් බලපත්‍රයේ අලුත් කරගන්නට බර්ලින් නගරයට ගිහින් මගෙ අයදුම්පත බාර දෙනවා. මම ඒ වෙද්දි ජර්මනියට ඇවිත් අවුරුද්දකට වඩා වැඩි උනත්, රටේ අගනුවර වන බර්ලිනයට යන්නෙ ප්‍රතම වතාවට. එහි නැවතීමට සැප පහසු හෝටල් කාමරයක් මට ඇනවුම් කර දෙන්නෙ දිලූප. කොතරම් සංචාරය කර තිබුනත් තනිවම හෝටලයක නැවතුනු පලමු වතාව බර්ලීන් ගමන. මේ බර්ලින් ගමනේදී  මගේ පාසලේ පුංචි කාලේ ඉඳන් දන්න මිතුරියක් වන රන්ධාරා නංගි මුණගැසෙනවා. ඇය නිසා මට නගරයේ ඓතිහාසික වැදගත්කමක් තියෙන ස්ථාන කීපයක්ම ඉතාම කෙටි වේලාවකින් නරඹන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම බර්ලීනයේ ශ්‍රී ලාංකික අවන්හලක රාත්‍රී ආහාර වේලකිනුත් ඇය මට සංග්‍රහ කරනවා. රන්ධාරා නංගිට ස්තූතිවන්ත වෙනවා බර්ලීන් සංචාරය රසවත් අත්දකීමක් කිරීම පිලිබදව. මතක සටහනක් විදිහට බර්ලින් තාප්පේ පුංචි ගල් කැබැල්ලක් තියෙන සමරුවකුත් මිලදී ගෙන තමයි මං ආපහු ගෙදර එන්නේ. මාර්තු මාසෙ අයදුම්පත බාරදීමෙන් පසුව, හරියටම මාස හයකින්, අගෝස්තු මාසෙ 31 දා මගෙ නව ගමන් බලපත්‍රය මගෙ ගෙදරටම ලැබෙනවා. මේ සම්බන්දයෙන් කටයුතු කරපු, බර්ලිනයෙ තානාපති කාර්‍යාලයේ නිලදාරි මහත්ම මහත්මින්ට ස්තුතිවන්ත වෙනවා. 


ඊළඟට මගේ උපාදියේ තුන්වෙනි සමස්තරයේ විෂයන් ටික මම ඉවර කරනවා සාර්ථකව, එක විෂයක්වත් අසමත් නොවී. ඒ විශයයන්ට අමතරව මම ජර්මන් භාෂාව විශ්ව විද්‍යාලයෙන් ඉගෙන ගනිමින් ඉන්නෙ. එය අමතර ඉගෙනීමක්. උපාදියට එය අදාල වෙන්නෙ නෑ. නමුත් ජර්මනියේ ජීවත් වෙන්න භාශාව අවශ්‍යයි. මගෙ ජර්මන් විභාගය මම සමත් වෙන්නේ නැහැ. ජර්මන් භාශා විභාගය තිබුණු දවසෙම මගේ ප්‍රධාන රසායන ව්ද්‍යා විෂයක විභාගයක් තිබුන නිසා මම වැඩි අවධානය යොමු කරන්නේ ඒ විෂයට. මේ නිසාම මම ජර්මන් භාෂාව ලිඛිත විභාගය සමත් වුණත් වාචික විභාගය සමත් වෙන්නේ නැහැ. මම උපාදිය සදහා විශ්ව විද්‍යාලයේ පැවැත්වූ එකම විෂයක් වත් අසමත් වී නෑ. ජර්මන් භාශා විභාගය අසමත් වීම මට දුකක් ගේනවා. මොකද මම හිතාගෙන හිටියෙ මට සමත් වෙන්න පුළුවන් වෙයි කියලා.ඒ අසමත් වුනු විභාගය සදහා ලබන අවුරුද්දේ පෙබරවාරි මාසේ විභාගෙට නැවත මුහුණ දෙන්න මම හිතාගෙන ඉන්නවා. බලමු.


ඊළඟට එන්නේ විභාගය ඉවර වුණාට පස්සේ ජ්ර්මන් මිතුරියන් හතර දෙනෙක් සමග යන ස්වීඩන් චාරිකාව. යුරෝපයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් එක සෙමෙස්තරයක් පිටරටක ඉගෙන ගන්න අයදුම් කරනවා. ඒකට කියන්නේ Erasmus කියලා ( European Community Action Scheme for the Mobility of University Students)  ඒ සෙමස්තරයේදී ශිශ්‍යයන් වෙන රටක විශ්ව විද්‍යාලයක ඉගෙන ගෙන ඒ අත්දැකීම් ලබාගන්නවා. ඉතින් මගේ එක ජර්මන් මිතුරියක් ඒ විදිහට ඉගෙන ගන්න  තෝරගන්නෙ ස්වීඩනයේ ස්ටොක්හෝම් විශ්ව විද්‍යාලය. පෙබරවාරි මාසයේ විභාග ඉවර කරලා එහි යන ඇය අපිට කියනවා ඇය එහි ඉන්න මාස හතර පහ තුළ එහෙ එන්න කියලා. ඒ අනුව අපි, අපි කිව්වේ මමත් මගේ ජර්මන් මිතුරියන් හතර දෙනෙකුත් අපේ විභාග අවසාන උනාට පස්සේ ස්වීඩනයට දවස් හයක චාරිකාවක් යනවා. මමයි එක් මිතුරියකුයි රයනෙයාර් ගුවන් යානයකින් තමයි ස්ටොක්හෝම් නගරයට යන්නේ.  ජර්මනියට ආවට පස්සේ යුරෝපය තුල මගේ පළමු අභ්‍යන්තර ගුවන් ගමන ඒක. මීට කලින් ඉතාලියට යද්දි මම ගමන් කරේ ඔස්ට්‍රියාව හරහා දුම්රියකින්. 

අපි මේ චාරිකාවේදී කතා කරගත් දෙයක් තමයි කවුරු හරි කෙනෙක් ට යම් දෙයක් කරන්න හෝ නරබන්න ඕනි උනොත් අපි පස්දෙනාම ඒ දේ එකතු වෙලා කරනවා කියන එක. ඉතින් එක් එක අයගේ යෝජනා අනුව නගරය පුරා පයින් යන ගමනක, ebike සවාරියක, බෝට්ටු සවාරියක, pub එකක බීර බීමට යෑමක, ඔපෙරාවක් නැරබීමක අත්දැකීම් ස්වීඩනයේ ගත කරපු දවස් කීපය තුල මම ලබා ගන්නවා. මගේ ජීවිතය තුල  පළමු ඔපෙරා අත්දැකීම මම ලබන්නෙ ටොස්කෝ ඔපෙරාව නරබලා. ඊට කලින් මම දැකල තිබ්බෙ Adventures of Tin Tin වල Bianca Casterfiore ගෙ ඔපෙරා ගායනා පමනයි. ස්වීඩන භාෂාවෙන් තිබුනු ටොස්කෝ ඔපෙරාව අවසානයෙ ටොස්කො මියයනකොට මගෙ ඇස් වල කදුලු. ඔපෙරාවක් බලමු කියලා මිතුරියක් යෝජනා කරාම මට එච්චර ලොකු කැමැත්තක් තිබ්බේ නැති වුණත්, මම අත්දකීමක් ලබන්න හිතාගෙන‍යි සහභාගි වෙන්නෙ, ඒ ඔපෙරාව අදටත් ලස්සනට මතක තියෙන්නෙ ඔවුන්ගෙ අති දක්ශ රන්ගනය නිසා. භාෂාව නොදැන වුණත් ඇස් වල කදුලු පුරවන් ඔපෙරාව නරබපු හැටි අදටත් සුන්දර මතකයක්. ස්වීඩන් චාරිකාවේ අමතකම නොවෙන සිදුවීම තමයි Nothern lights හෙවත් Aurora borealis දර්ශනය නැරබීමට හැකි වීම. එය අනපේක්ශිත සිදුවීමක්. Aurora දකින්නට කිසිම බලාපොරොත්තුවක් නොතිබු ගමනක, එරටින් පිටවී ඒමට පෙර දින රාත්‍රියේ හදිසියේම අහස පැහැදිලි වී, වලාකුලු අඩුවී, දරශනය වූ කොල පැහැති අලෝක ධාරා මට කවදාවත් අමතක නොවේවි. මේ සටහනේ චායාරූපය විදිහට මම ඒ දර්ශනය තෝරගන්නෙත් ඒ නිසාමයි. 


මේ අවුරුද්දේ ඉලක්කයක් නොවුනත්, සිදුවුනු තවත් වැදගත් දෙයක් තමයි මම හිටපු තනි කාමරයේ නවාතැනෙන් කාමර දෙකක නවාතැනකට මාරුවීම. ජර්මනියට ඇවිල්ල අවුරුද්දක් යනකොට මම විශ්ව විද්‍යාලයෙන් අයදුම් කරනවා කාමර දෙකක නවාතැනකට. පෙබරවාරි මාසේ වෙනකොට මට අයදුම් කරන ලද නවාතැන ලබා දෙන්න පුළුවන් කියලා විශ්ව විද්‍යාලයෙන් දන්නනවා. ඒ අනුව මට අප්‍රේල් පළවෙනිදා ඉඳලා කාමර දෙකක නවාතැනක් ලැබෙනව. ස්වීඩන් ගමනෙන් පසුව මාර්තු මාසේ අග සතිය සම්පූර්ණයෙන්ම වැය වෙන්නේ නවාතැන මාරු කරන්නට. නවාතැන් දෙක මීටර තුන්සියයක වගේ දුරකින් තිබුන නිසා, දවස් හයක විතර රෑ කාලය වැය කරලා සියලුම බඩු බාහිරාදිය තනිවම මාරු කරගන්නට මට පුලුවන් වෙනවා. ඒ අනුව අප්‍රේල් මාසය මම පටන් ගන්නේ අලුත් නවාතැනක.


මේ අවුරුද්දේ කෙරුණු තවත් වැදගත් දෙයක් තමයි ස්විට්සර්ලන්ත චාරිකාව. සංචාරයන් සම්බන්ධයෙන් කුඩා කාලයේ මගේ ජීවිතේ බලාපොරොත්තු තිබ්බෙ රටවල් දෙකක් ගැන පමනයි. එකක් ජපානය අනික ස්විට්සර්ලන්තය. ජපානයට යන බලාපොරොත්තුව 2017 වසරේදී මට ඉටු කර ගැනීමට ලැබෙනවා. ජර්මනියට ආපු දා ඉඳන් ඕනම වෙලාවකින් දුම්රියකින් හෝ බසයකින් ස්විට්සර්ලන්තයට යෑමට හැකියාව තිබුණත් මම හැමදාම මේ ගමන කල් දැම්මෙ දුවයි දිලුපයි ආපුවහම එකටම යනවා කියලා හිතාගෙන. නමුත් මගේ විශ්ව විද්‍යාලයීය මිතුරියක් වන ශිමාලි අක්කි මට ආරාධනා කරනවා පාස්කු නිවාඩුවට එයාගෙ ගෙදර එන්න අපි ස්විට්සර්ලන්තයේ Zürich නගරයේ ඇවිදින්න යමු කියලා. ඉතිං අප්‍රේල් මාසේ පාස්කු නිවාඩුව ගෙවෙන්නෙ හරිම සොඳුරු විදිහට ශිමාලි අක්කිගෙ ගෙදර දුවලා දෙදෙනා එක්කත්, Zürich නගරයේ චාරිකාවකිනුත්. ඒ වගේම ජර්මනිය තිබෙන ලස්සනම මාළිගාවක් වෙන Hohenzollen castle එකත් නැරබීමට අවස්තාව ලැබෙනවා. මගේ නිවාඩුව රසවත්ම ආහාරපාන වලින්, Zürich නගරයේ චාරිකාවකින්, Zürich විලේ බෝට්ටු සවාරියකින් සුන්දර කරාට ශිමාලි අක්කිටත් අයියටත් ගොඩක් ස්තූතිවන්ත වෙනව. 


ඊළඟට ආපහු ගෙදර ආපු මට තිබ්බේ ලොකු අභියෝගයක්. මගේ මාස්ටර් උපාධියේ පරීක්ෂණයට අදාළ පරීක්ෂණ කටයුතු කරලා දත්ත විශ්ලේශනය කරලා නිබන්දනය ලියන්න පටන් ගන්න එක. මේ කාලයෙ තමයි මම අර මගේ වොලට් එක නැති කරගෙන, සමුලුවක කතාවකුත් පවත්වලා, මගෙ උපන්දිනය දවසෙ බ්ලොග් එකකුත් පටන් ගත්තෙ. නමුත් ඊළඟ සති වල සිදු උනේ තවත් බලාපොරොත්තු නොවූ දේවල් කීපයක්. 


සමුලුවේ පවත්වපු කතාවෙන් පස්සේ මට පශ්චාත් උපාධිය සඳහා මහාචාර්යවරු දෙදෙනෙක් ආරාධනා කරනවා. ඒ වෙනකොට පශ්චාත් උපාධියක් ගැන මගේ හිතේ බලාපොරොත්තුවක් වත් කිසිම අදහසක්වත් තිබුණේ නැහැ. මගේ දැන් වයස එක්ක දිලූප කොහෙත්ම කැමැත්තක් තිබුනෙ නෑ මම පශ්චාත් උපාධියක් කරනවට. නමුත් මහාචාර්යවරු දෙදෙනෙක් ඔවුන්ගෙ පර්යේෂණ යෝජනා දෙකක් මට ඊමේල් කරනවා කියවලා බලන්න කියලා. එයින් එක පරීක්ෂණයක් ඉතාම සිත් ගන්නා සුළුයි. ලෝකයේ ප්‍රධාන ප්‍රශ්නයක් වන Microplastics සම්බන්ද පරීක්ෂණයක්. මේ තාක් පශ්චාත් උපාධියක් සම්බන්ධයෙන් ඇල්මැරුනු ස්වාභාවයක් පෙන්නපු දිලූපත් කියනවා ඒ පර්‍යේශනය හොද එකක් කියලා. ඉතින් ඔය අනුව මම ඒ පර්යේෂණය බාරගන්නට අදහස් කරනවා. ඒ අනුව මම ඒ පශ්චාත් උපාධියට අයදුම් කරලා, සම්මුක පරීක්ශනයට මුහුන දීලා තේරී පත්වෙනවා.  ඒ ගැන මට නිල වශයෙන් දැන්වීම එන්නෙ අගෝස්තු මාසෙ මුල සතියෙ. හැබැයි ඒ වෙද්දි මගේ මාස්ටර් උපාධියේ නිබන්ධනය ඉවර කරලා තිබ්බේ නැති නිසා මට තිබුණේ අභියෝගයක්. මම ඔක්තෝම්බර මස අවසාන වෙනකොට නිබන්ධනය ඉදිරිපත් කරලා සමත් වෙන්න ඕනි. ඒ නිසාමයි ජූලි මාසේ හා හා පුරා කියලා පටන් ගත්ත බ්ලොග් එකට එයින් පසුව කිසිම දෙයක් ලියන්නට බැරි වුණේ.

මට ඒ වෙනකොට මගේ පරයේශනයේ දත්ත විශ්ලේශය සදහා අවශ්‍ය සංඛ්‍යානය ගැන කිසිම දැනුමක් තිබුනෙ නෑ. මට මුල ඉදන්ම අමුතුවෙන්ම සංඛ්‍යානය ඉගෙන ගන්න සිද්ධ වෙනවා. මම මේ විශ්ව විද්‍යාලයේ පාඨමාලාවකුත් ලංකාවේ මගේ විශ්ව විද්‍යාලීය මිතුරෙක් වන චානක පවත්වන සංඛ්‍යාන පාඨමාලාවකුත් හදාරන්න ගන්නවා. මේ සියල්ල කරන්න සිද්ද වෙන්නෙ රැකියා දෙක, පර්‍යේශනය, නිබන්දනය ලිවීම ඔක්කොම අතරතුර. නමුත් ඒ පාඨමාලා දෙකම හදාරලත් මට අවශ්‍ය දැනුම ලබාගන්න තරම් එහි පැවරුම් වල යෙදෙන්න කාලය මදි වෙනවා.මේ නිසාම මම සැපැත්ම්බර් මාසයේ එක රැකියාවකින් සමුගන්නවා. එතනදි මගෙ මාසික ආදායම අඩු උනත්, රැකියා දෙකක් සමග නිබන්දනය සම්පූර්න කිරීම ලොකු අභියෝගයක් නිසා මට ඒ තීරනය ගන්නට සිදු වෙනවා. 


ඉතින් ඔය විදිහට ඔක්තෝබර් මාසේ අග වෙනකොට මම මාස්‍ටර් උපාදියේ අවසාන අභියෝගය වන නිබන්ධනය ඉදිරිපත් කරනවා. මගේ පර්‍යේශනයෙ අනුශාශකවරු උනු ඇමරිකානු ආචාර්යවරයාට සහ ජර්මාණු මහාචාර්යවරියට මගෙ හිතේ තියෙන්නෙ පුදුමාකාර ගෞරවයක් සහ ස්තූතියක්. පශ්චාත් උපාධියකට මා තේරුනාට පසුව, ඔවුන් දෙදෙනා මගේ මාස්ටර් උපාධියේ නිබන්දනය අවසන්කර, මා සමත් කරන බවට සහතික කර, අදාල ලියවිලි සම්පූර්න කිරීමට දක්වපු සහයෝගය මගේ ජීවිතයේ මට කිසිදාක අමතක නොවේවි. ඒ වගේම නිබන්දනය ලිවීමේදී දත්ත විශ්ලේශයේදී මට උදව් උනු මගේ මිතුරු චානකටත් ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා. 


ඊලගට එන්නෙ පශ්චාත් උපාදිය සමග එන රැකියාවට අදාල අයදුම්පත් පිරවීමෙ අභියෝගය. දෙපාර්තමේන්තුවෙ ලේකම්තුමිය කොල තිස් ගානක් තිබෙන ෆයිල් කවරයක් මගෙ අතේ තියන්නෙ හිමීට පුරවලා දෙන්න කියලා. මේ සියල්ල තියෙන්නෙ ජර්මානු භාශාවෙන්. ඉන්ග්‍රීසි පරිවර්තනය අන්තර්ජාලයේ තිබුනත් එය තනිවම කරගැනීම අභියෝගයක්. මෙතනදි මට මගෙ තවත් ජර්මානු මිතුරියක් වෙන සිල්කේ උදව්වට පැමිනෙනවා. ඇය මේ නගරයේ සිටින ශ්‍රී ලාංකික මිතුරෙකු වන උපේක්ශ අය්යගෙ බිරිද. ඇය මා පිරවූ අයදුම් පත් සියල්ල එකින් එක පරීකශා කර අඩු පාඩු නිවැරදි කර දෙනවා. ඒ වගේම රැකියාව පටන් ගත් පසු නව රක්ශාවරනයක් ලබාගැනීමේදී මා වෙනුවෙන් වේලාවක් වෙන් කර,මාත් සමග රක්ශනායතයට පැමින ඒ කටයුතු පහසුවෙන් කරගැනීමට ඇය මට උදව් කරනවා. සිල්කේට ගොඩක් ස්තූතියි.


ඔක්තෝබර් මස අවසාන දවසේදි, ජර්මානු මහාචාර්වරයෙක් යටතේ, පශ්චාත් උපාධියක් සිදු කිරීමට කොන්ත්‍රාත්තුව අත්සන් කරන මම නොවැම්බර් පළවෙනිදා ඉඳන් පශ්චාත් උපාධියේ වැඩ කටයුතු පටන් ගන්නවා. ජර්මනියේ පශ්චාත් උපාධියක් කියන්නෙ රැකියාවක්. රැකියා වීසා බලපත්‍රයක් සමග මාසෙකට වේතනයක් ලැබෙනවා. ඉතින් දැන් ඔන්න මටත් රැකියාවක් තියෙනවා. මේ රැකියාව අවසානයේදි නමේ මුලට දාගන්න ආමන්ත්‍රනයකුත් හම්බෙනවා. ඒකත් නරක නෑ.


නොවැම්බර් සහ දෙසැම්බර් මාසය ගෙවිලා යන්නේ අලුත් විදිහකට. ලොකුවට කාර්යබහුල වන කාලයකුත් නෙමෙයි. නමුත් මගේ නවතම පර්යේෂණයේ මූලික දේවල් කියවන්න, නොදන්න දේවල් ඉගෙන ගන්න, තවත් සමුලු කීපයකට සහභාගී වෙන්න, පාටමාලා හදාරන්න පටන් ගත්ත කාලයක්. නොවැම්බර් මාසයේදී සිදු උනු වැදගත්ම දෙයක් තමයි Mainz නගරයේ Max Planck ව්ද්‍යායතනයට යෑම. එහි මාස්ටර් උපාධියෙ පර්‍යේශන කටයුතු හදාරන මගේ හොදම මිතුරියගේ පරීක්ෂණයකට සහභාගි වෙන්න තමයි මම එහි යන්නෙ. ඒ ගමනෙදි මම Frankfurt නගරය හරහා යනවා. ජර්මනියට ආපු දවසේ Frankfurt ගුවන් තොටුපලට තමයි මම ගොඩ බහින්නේ. ඉතින් අවුරුදු දෙකකට පස්සේ මාස්ටර් උපාධිය සම්පූර්ණ කරලා පශචාත් උපාධියක් පටන් අරගෙන, ආපහු ඒ නගරය හරහා යන එක මට හරිම විශේෂ අත්දැකීමක් වුණා. රටේ භාශාව වත් නොදැන ඉස්සෙල්ලාම පය තබපු නගරය හරහා මම දෙවෙනි වතාවට යන විට, ජීවිතයේ බොහෝ දේ වෙනස් වෙලා.

මැක්ස් ප්ලාන්ක් විද්‍යායතනය ඇතුළට ගිහිල්ලා ඒ පර්යේෂණ වලට සහභාගි වෙලා ඒවා දැකබලාගෙන ඒමට ලැබීමත් මට ලැබුනු ලොකු අත්දැකීමක්. ඒ වගේම සමාජ අද්‍යනය විශයයෙදි හත හෝ අට වසරෙදි ඉගෙන ගත්ත රයින් නදිය අසලට යෑමත් තවත් මතක සටහනක්. මීට කලින් රයින් නදිය උඩින් යන පාලම් උඩින් වාහන වලින් ගමන් කර තිබුනත්, නදිය අසලට ගිහින් සුන්දරත්වය විදපු පලමු අත්දැකීම එය. Mainz නගරයේ තිබෙන Gutenberg Museum දැක බලාගැනීමත් විශේශ අත්දැකීමක්. Johannes Gutenberg යනු යුරෝපයට මුද්‍රනශිල්පය හදුන්වාදුන් කීර්තිමත් විද්‍යාර්තියෙක්. ඔහු සොයාගත් මුද්‍රන යන්ත්‍රය මේ කෞතුකාගාරයේ තිබෙනවා වගේම එදා ඔහු මුද්‍රනය සිදු කරපු හැටි විස්තර කරලා,ඒ ක්‍රමයට කඩදාසියක් මුද්‍රනය කර පෙන්වීමත් මෙහිදී සිදු කරනවා.


දෙසැම්බර මාසය වනවිට තවත් ලොකු අභියෝගයක් එනවා.ඒ ලබන අවුරුද්දෙ ඉදන් ජීවත් වීමට නිවසක් හොයාගැනීම. මගෙ මාස්ටර් උපාදිය අවසාන නිසා මගෙ ශිශ්‍යභාවය අවසාන වෙනවා තව සුලු කාලෙකින්. ඉන් පසුව මට විශ්ව විද්‍යාලයීය නිවාස වල සිටින්නට අවසරයක් නැහැ. මේ වෙලාවෙ මගෙ උදව්වට එන්නෙ මගෙ පාසල් මිතුරියක් වන වෙරා. ඇයට මම දුරකතන ඇමතුනක් ගන්නෙ මගෙ පලමු වේතනය ලැබුනු පසු අවන්හලක රාත්‍රී කෑමකට ආරාදනා කරන්න.ඒ වෙලාවේදී නිවාස සෙවීම් පිලිබදව මම ඇයට පවසනව. ඇයගෙ උදව්වෙන් මට අලුත් නිවසක් සොයාගැනීමට ලැබෙනවා ඉතාම පහසුවෙන් නොහිතූ විදිහට. අසීරු ගැටලුවක් ඉතාම පහසුවෙන් විසද ගැනීමට උදව් කරපු වෙරාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. 

මේ සාර්තක අවුරුද්ද මම පටන් ගත්තෙ මියුනික් නගරයේ මගේ මිතුරිය වින්දිගෙ නිවසේ ඉදලා. 2022 දෙසැම්බර් 31 රෑ තනියම ඉන්න එපා සුලා අපේ ගෙදර එන්න කියලා මට වින්දි කියන්නෙ ඒ අවුරුද්දෙ ඔක්තෝබර වල වගේ ඉදන්. දෙසැම්බර් 31 දා රාත්‍රියේ මියුනික් නගරයේ අවන්හලක රාත්‍රී කෑමකින් වින්දිටයි මටයි සංග්‍රහ කරන්නෙ වින්දිගෙ මාමා වන ශිරෝන් අංකල්. අවුරුද්ද පටන් ගද්දිම වින්දිගෙ ගෙදර ඉස්සරහ මල් වෙඩි සංදර්ශන බල බල හිටි මම ගාවට දුවන් ඇවිත් සුභ අලුත් අවුරුද්දක් සුලා කියලා මට මුලින්ම සුභ පැතුවෙ වින්දි. ජනවාරි පලමුදා ශිරෝන් අන්කල්ගෙ මූලිකත්වයෙන් පැවැත්වූ දානමය පිංකමට සහභාගි වෙන්නටත් මට අවස්තාව ලැබෙනවා. මේ අවුරුද්ද පුරාවටම එයාලව බලන්න යන්න බැරි උනත් සැරින් සැරේ කතා කරලා කෑවද බීවද සනීපෙන්ද කියලා හොයල බලන්නෙත් වින්දි. වින්දිටත් ශිරෝන් අංකල්ටත් ගොඩක් ස්තූතියි ඒ හැමදේටම.

ජීවිතයේ සිදූඋනු අත්දැකීම් සටහන් කර තැබීමට සුලාගෙ විත්ති කියලා ෆේස්බුක් පිටුවක් පටන් ගන්නට මට හදිස්සියේම හිතක් පහල උනෙත් මේ 2023 අවුරුද්දෙ. ඒක දැකල බ්ලොග් එකක් ලියමු නංගි කියලා මම නොදන්න බ්ලොග් කලාවට මාව යොමු කලේ මගෙ මිතුරියක් වන චිරන්තිකා අක්කිගෙ මංජුල අය්යා. පටන් ගත්ත ගැම්මට ඒ උනුසුමට ලියාගන්න බැරි උනාට ඉදිරියට ලිවීම දිගටම කරන්න හිතන් ඉන්නවා ජීවිත අත්දැකීම් වගේම මගේ විද්‍යාත්මක පර්‍යේශන ගැනත්. ලිවීමට වෙලාව හොයාගන්න අමාරු උනාට ලියන එක මාර ජොලි වැඩක්. ඉතින් නොදන්න ඉසව්වක් පෙන්වා දුන්නට මංජුල අය්යටත් ගොඩක් ස්තූතියි. 

මම 2023 මට සිදුවුණු වැදගත්ම සිදුවීම් ටික මෙහෙම සටහන් කරාට, ඔය අතරතුරේ ඔරු පදින, කදු නගින, පර්‍යේශන ආයතනයේ සියල්ලන්ටම කොත්තු හදන, අශ්වයන්ට සාත්තු කිරීමට යෑම, christmas markets වල ඇවිදින්නට යාම වගේ වැඩත් කෙරෙනවා. දියනියත් අවුරුද්දකින් වැඩිලා පෙර පාසල් ගමන සාර්තකව අවසන් කරනවා. දියනියගෙ වැඩටික මම ඉන්නවටත් වඩා හොදට කරන දිලූප අය්යටත් ගොඩක් ස්තූතියි. 

මගේ අවුරුදු හතළිස් එකක ජීවිතයේ වැදගත්ම අවුරුදු තුනයි මට තිබුනේ. එක මගේ විවාහය සිදුවුනු අවුරුද්ද, ඒ විවාහයත් එක්ක ජීවත් වෙන රට වෙනස් උනු නිසා. දෙක දුව ඉපදුන අවුරුද්ද, ඒ දුවගෙ පැමිනීමත් එක්ක ජීවිතයම වෙනස් උනු නිසා. තුන නැගනිය විවාහ වූ අවුරුද්ද, ඒ ජීවිතයේ ඒ වෙනකොට තිබූ ලොකු වගකීමකින් නිදහස් වූ නිසා. ආපහු හැරිලා බලද්දි මේ 2023 අවුරුද්දත් අමතක නොවන වැදගත්ම අවුරුද්දක් කියලා මට දැනෙනවා. වයස තිස් නවයෙදි යුරෝපයේ ප්‍රධාන රටකට ජාත්‍යන්තර ශිශ්‍යයෙක් විදිහට ඇවිල්ලා, ඒ උපාධිය නියමිත කාලයටම අවසාන කරමින් පශ්චාත් උපාධියකුත් පටන් ගත්ත මේ අවුරුද්ද පුදුම අවුරුද්දක්.රැකියා දෙකක් කරන ගමන් නිබන්දනයක් ලියලා, ගෙවල් මාරු කරලා, රටවල් දෙකක වගේම ජර්මනියේ නගර කීපයකත් සංචාරය කරලා,යාලුවන් සමගත් විනෝදත් වෙලා ගෙවපු මේ අවුරුද්ද පුදුම අවුරුද්දක්. මෙච්චර වැඩ ගොඩක් මම කොහොමද කරේ කියලා මටම හිතෙනවා. හැබැයි මේ සියල්ල මම කලේ තනිවම නෙමේ. ජර්මනියෙදි මට මුන ගැහුනෙම පුදුමාකාර හදවත් තියෙන සුන්දර මිනිස්සු. ඒ හැමෝම මට උදව් කරා මේ ගමනෙදි. මේ අවුරුද්ද සාර්ථක කරගන්න උදව් කරපු, ශක්තියක් වුන ඒ හැමෝටම ස්තූතිවන්ත වෙනවා. 

මින් ඉදිරියට පුලු පුලුවන් වෙලාවට මගේ විත්ති දිගටම ලියන්නත් බලාපොරොත්තු වෙනවා😁

Monday, July 24, 2023


යොවුන් සමිතියේ කොමෙන්ටු 13⛪📑

උපතින්ම ලැබුණු වරප්රසාදයක් මොකක්ද කියලා කවුරුහරි මගෙන් ඇහුවොත් මම කියන්නේ මිශ්ර ආගමික විවාහයක දරුවෙක් විදිහට ඉපදෙන්න ලැබීම කියලා. ඒකත් ප්රධාන ආගම බෞද්ධාගම උනු රටක කතෝලිකයෙකු වෙලා ඉපදෙන්න ලැබීම. මම එහෙම කියන්නේ කතෝලික ආගම බෞද්ධාගමට වඩා හොඳයි කියලා නෙමේ. රටේ ප්රධාන ආගමට අයත් නොවීම මට උනු හොදක් කියල.
ශ්රී ලංකාව 1978 ව්යවස්ථාවෙ දෙවැනි පරිච්ඡේදයේ නම වෙනි ව්යවස්තාවෙන් ආගමික නිදහස පිළිගත් රටක්. නමුත් ලංකාව ස්වීඩනය තරම් secular state එකක් නොවේ. ව්යවස්ථාවේම යම් තැනක බෞද්ධාගම ප්රධාන යයි දක්වලා තියෙනවා. රටේ බහුතර ජන ප්රමානයක් බෞද්ධ. මගේ අම්මා බෞද්ධ, තාත්තා කතෝලික. ඒ නිසාම මමත් නංගිත් බෞතීස්ම කරපු කතෝලිකයන්. කතෝලිකයන් කියන්නේ රටේ සුළු ආගමික ප්රජාව. සුලු ආගමික ප්රජාවට අයිති වීම නිසා ඒ ආගම ගැන ගැනත් අම්මගේ ආගම සහ රටේ ප්රධාන වෙච්ච බෞද්ධාගම ගැනත් පොඩි කාලෙ ඉදන්ම මට අවබෝධයක් ලැබී තිබෙනවා. ඒකයි මම කිව්වේ ප්රධාන ආගමට අයත් නොවීම හොඳයි කියලා. මිශ්ර විවාහයකින් වුණත් තාත්තා බෞද්ධ වෙලා මමත් බෞද්ධ වුනානම් කතෝලික ආගම ගැන ලොකු අවබෝධයක් නොලැබෙන්න ඉඩ තිබ්බා. ඉතින් මේ පවුල් පසුබිම නිසාම එකම ආගමක කොටු නොවී ඉන්න මට කුඩා කාලයේ ඉදන්ම අවකාශය ලැබී තිබෙනවා.
ජීවීතයේ පසුකාලයේදී පල්ලියේ විවිධ නිකායන් වගේම පන්සලේ විවිධ නිකායන් එක්කත් මම ගනුදෙනු කරල තියෙනවා. උදාහරණයක් විදිහට සීශෙල්ස් වල ජීවත්වෙන කාලයේදී ඇංග්ලිකන්, ජර්මනියේ දී ප්ර්ටෙස්ටන්ට් සහ යෙහෝවා වහන්සේ සාක්ෂිකාරයෝ, සිංගප්පූරුවේදී හින්දු සහ මෛත්රී බුදුන් අදහන ජන සමාජ මම ස්පර්ශ කරලා තියෙනවා. අද වෙනකොට මට තියෙන්නෙ මේ ඔක්කොම එකතු කරලා මමම හදාගත්ත ආගමක්, වෙලාවකට මම සර්ව ආගමික, තව වෙලාවකට නිරාගමික. නමුත් මනුස්සයෙකුට ආගමක් තිබිය යුතුම නම් සහ එක ආගමක් පමනක් නම් තිබිය යුත්තෙ මම කතෝලිකයෙකු ලෙස හඳුන්වන්න මම කැමැතියි. හැබැයි මේ කතාව ආගමෙන් පටන් ගත්තට ආගම් ගැන නෙමේ. ඒවා ගැන මගේ සත දෙක පසුව ලියනවා.මේ ලියන්නෙ කතෝලික වීම නිසා පුංචි කාලේ මම ගියපු පල්ලියේ දහම් පාසල ගැන දහම් පාසලෙන් මට ලැබුණු වටිනා තෑග්ගක් ගැන.
කුඩා කාලේ අපි හැමෝම දහම් පාසල් යනවා. මමත් පුංචිම කාලේ ඉදන් පහ වසර වෙනකම් යන්නෙ කුරුනෑගල මාවතගම මීසමට අයත් මිල්ලව පල්ලියේ දහම් පාසලට. ඉන් පසුව හය වසරේ සිට එකොලහ වසර වෙනකම් කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරට අයත් දහම් පාසලට. මේ දහම් පාසල පැවැත්වෙන්නේ ශුද්ධවූ පවුලේ බාලිකා මහා විද්යාලයේ පාසැල් ගොඩනැගිලි වල. ඒක තමයි මගේ පාසලත්. දහම් පාසලට ශුද්ධවූ පවුලේ බාලිකාවේ වගේම සහෝදර පාසලේ වෙච්ච ශාන්ත ආනා මහා විද්යාලයේ කතෝලික සිසුසිසුවියන් තමයි සහභාගි වෙන්නෙ. දහම් පාසල් අත්දැකීම් හරිම සුන්දරයි. අපි කතෝලික ධර්මය ගැන ඉගෙන ගන්නව වගේම නොයෙකුත් උත්සව සංවිධානය කරනවා, කථික තරඟ, රචනා තරග වලට සහභාගි වෙනවා, ප්රදර්ශන සංවිධානය කරනවා, නත්තල් කාලෙට කැරොල් ගායනා කරනවා, විනෝද චාරිකා යනවා. කොටින්ම පාසල් කාලේ සුන්දරම අත්දැකීම් ගොන්නක් ලැබුණු තවත් තැනක් තමයි පල්ලියෙ ඉරිදා දහම් පාසැල. ඒ කාලේ ශාන්ත ආනා පල්ලියෙ මීසම් පාලක ප්රධාන පියතුමා උනේ ගරු මයිකල් කොස්තා පියතුමා. සිස්ටර් අයිඩා,සිස්ටර් ඉවැන්ජලින් සහ සිස්ටර් ගේස් මුල කාලයේදීත්, සිස්ටර් ඉන්ද්රානි, සිස්ටර කැමිලා සහ සිස්ටර් හෙන්රිටා කියන කන්යා සොයුරියන් පසු කාලයේදීත් මේ දහම් පාසලේ ඉගැන්නුවා.
මට මතක හැටියට දහම් පාසල පටන් ගත්තේ උදේ හතහමාරට. දහය හමාර වෙනකන් අපිට ඉගැන්නුවා. ඉන්පසු අපි ශුද්ධ වූ පවුලේ බාලිකාවේ සිට පෙළ ගැසිලා යනවා ශාන්ත ආනා දෙව් මැදුරට උදේ දහය හමාරේ ඉරිදා දිව්ය පූජාවට. පූජාව ඉවර වෙලා ගෙදර එනකොට මධ්යහනය පහු වෙනවා. ඉතින් ඉරිද දවසෙ බාගයක්ම ගෙවෙන්නේ පල්ලියේ. පාසැලේ හය වසරේ සිට එකොලහ වසර දක්වා කියන්නේ අවුරුදු හතක කාලයක්. සාමාන්ය පෙළ ලිව්වට පස්සෙ දහම් පාසැල් ගමන අවසාන වෙනවා. ඉතින් අපේ මේ දහම් පාසලේ මිතුරු මිතුරියන්ට අවශ්ය වෙනවා අපේ එකමුතුකම දිගටම තියාගන්න. 2000 වසරට පෙර කියන්නෙ අද වාගේ හැම කෙනාටම ජංගම දුරකතනයක් තිබ්බ, සමාජ මාධ්ය තිබ්බ, WhatsApp groups තිබ්බ කාලයක් නෙමෙයි. යාලුකම් පවත්වන්න නම් මුන ගැහෙන්නම ඕනි.
ඒ කාලේ ශුද්ධවූ පවුලේ බාලිකාවට බොහොම තරුන හුරුබුහුටි සිස්ටර් කෙනෙක් එනවා සිස්ටර් දිනේශා කියලා. සමාන්යා පෙල වෙනකම් අපේ උපදේශිකාව උනු සිස්ටර් ඉන්ද්රානි ගෙ ස්ථාන මාරුවත් එක්ක අලුතින් එන්නෙ මේ චූටි සිස්ටර්. අපි මේ සිස්ටර් එක්ක එකතු වෙලා සාමාන්ය පෙළින් පසු පල්ලියේ යොවුන් සමිතියක් පිහිටුවා ගන්නවා. යොවුන් සමිතියෙ ඉන්නේ දහම් පාසලේ කුඩා කාලයේ ඉදන්ම හිටපු, සාමාන්ය පෙලින් පසු තවදුරටත් දහම් පැසලට අයත් නොවුනු පල්ලියෙ තරුන පිරිස. ඒ කිව්වෙ අපි ටික. අපි හැම ඉරිදාම පල්ලි එනවා දිව්ය පූජාවට. මට මතක හැටියට මාසෙකට සැරයක් විතර පූජාවෙන් පසු අපේ යොවුන් සමිතිය රැස් වෙනවා. සිස්ටර් අපිට තවදුරටත් ආගමික කරුනු කියලා දෙනවා. ඒ වගේම ලමා වයසෙන් තරුන වයසට පා නගමින් ඉන්න අපිට නොයෙක් ගුරුහරුකම් දෙනවා, පෞරුශත්වය වර්ධනයට නොයෙකුත් ක්රියාකාරකම් වල යොදවනවා.
මම පින්තූරයේ දාලා තියෙන්නේ සිස්ටර් දිනේශා මේ යොවුන් සමිතියේදී අපිට දුන්නු ක්රියාකාරකමක් සහ ශාන්ත ආනා ආසන දෙව් මැදුර. දිනය තියෙන්නේ දෙදාහේ මාර්තු 26 වැනිදා.මේ පුංචි කොළ කෑල්ල මගේ අර නැති වෙලා හම්බුන වොලට් එකේ ඇතුලෙ තිබ්බ තවත් වටින දෙයක්. මේක දැක්කහම තමයි මට හිතුනෙ නැතිවුන සල්ලිවලට වඩා මේක ආපහු ලැබුනු එක කොච්චර වටිනවද කියලා. මං ගාව මේ කොල කැබැල්ලේ පිංතූරයක් වත් තිබුනේ නැහැ. 2000 න් පසු ගෙවුණු අවුරුදු 23 තුළ වොලට්ස් කොච්චර මාරු වුණත් මේ පුංචි කොළ කෑල්ල මම දිගටම තියාගෙන ඉන්නවා. මේ කොල කෑල්ලෙන් මගේ ජීවිතයට ලැබෙන දේ තමයි අද ලියන්නෙ.
මම දැකලා තියෙනවා මේ මුහුණු පොතේ මිතුරු මිතුරියන් ශෙයා කරනවා "ඔබ මං ගැන මොනවද හිතන්නේ කියලා" පෝස්ට් එකක්. සමහර වෙලාවට මමත් ඒ වගේ දේවල් වලට කමෙන්ට් කරලා තියෙනවා. මේ කොල කෑල්ලත් එහෙම පෝස්ට් එකක් කිව්වොත් හරි. හැබැයි සමාජ මාධ්ය එන්න කලින්.සකර්බර්ග් මහත්මයා මුහුණු පොත හොයා ගන්නේ 2004 දි. ඒක ලංකාවේ ප්රචලිත වෙන්න පටන් ගන්නෙ 2007 විතර මට මතක හැටියට. ඊට පස්සෙයි අපට "Comments" කියන වචනය සුලභ වචනයක් වෙන්නේ. නමුත් මට මේ කොමෙන්ටු 13 ලැබී තිබෙන්නේ වර්ශ 2000 දි.
දහම් පාසලේ යොවුන් සමිතිය දෙදාහේ මාර්තු 26 වැනි දා රැස් වෙච්ච වෙලාවේ සිස්ට දිනේශා අපිට එක් එක්කෙනාගෙ නම් ලියපු කොළ කෑලි බෙදල දීලා කියනවා කොල කෑල්ලේ නම තියෙන කෙනා ගැන අපට හිතෙන දේ ලියන්න කියලා. මගෙ කොල කෑල්ලෙ "සුලාරි" කියලා නම ලියලා තියෙන්නෙ සිස්ටර් දිනේශා. ඉතින් එදා සමිතියෙ දාහතර දෙනෙක් ඉඳලා තියෙනවා මාත් එක්ක. මට කොමෙන්ටු දහතුනක් ලැබිලා තියෙනවා අනිත් මිතුරු මිතුරියන්ගෙන්. මේ කොමෙන්ටු බොහොම අව්යාජ ඒව කියල මට හිතෙනවා. මොකද ඒ කාලේ අපිට වයස දාහතයි. ජීවිතේ කුඩාම කාලයේ ඉදන් දැනන් හිටපු මිතුරු මිතුරියන් මේ ලියලා තියෙන්නේ. බාහිර සමාජය එක්ක මිශ්ර වෙලා, අත්දැකීම් ලබලා personality එක වෙනස් වෙච්ච, ඒ අත්දැකීම් අනුව ගතිගුනත් shape up වෙච්ච කාලයක් නෙමේ මේක. ජීවිතයේ නොයෙක් අවස්ථාවලදී මේ කොළය මම අතට අරගෙන බලනවා ලමා කාලයේ මගේ මේ යාලුවෝ මගෙන් දැකපු මේ කියන ගති ලක්ෂණ මට තාම ඉතිරි වෙලා තියෙනවද කියලා. ඉතින් මේ කොමෙන්ටු 13 මගේ ජීවිතයට නිකං ගයිඩ් ලයින් එකක් වගේ.
හැබැයි මේ 13 අතරින් දෙවෙනි දෙවෙනි සහ එකොළොස්වැනි කොමෙන්ටු දැක්කාම ඉස්සර මට හිනා යනවා. ලියපු යාලුවෝ කොලොප්පමට ලිව්වද කියලත් හිතෙනවා. ඒ කොමෙන්ටු දෙකේම තියෙනවා මම අහිංසකයි කියලා 😁මම කොහෙද අහිංසක. මේ දෙන්න මෙහෙම ලියනකම්ම ජීවිතයේ මට කවුරුත් ඒ වෙනකොට අහිංසකයි කියලා කියලා තිබ්බේ නැහැ. ඒකටත් හේතුවක් තියෙනවා.සාමාන්යයෙන් මට වේගෙන් කතා කරන්න පුළුවන්, ශබ්ද නගා කතා කරන්න පුළුවන්, කටහඩත් සාම්ප්රදායික ලාලිත්යමය ගැහැනු කටහඩකට වඩා බේස් කටහඩක්. ඒ වගේම මම හිතට එන දේ එවෙලෙම ඕනිම කෙනෙක්ගෙ මූනටම කියලා දානවා. මට හිතෙන හැටියට ලංකාවේ සමාජයේ සාමාන්යයෙන් අහිංසකයි කියලා පිළිගැනෙන්නේ ශබ්දය අඩුවෙන් කතා කරන, වචන ප්රමානය අඩුවෙන් කතා කරන, ටිකක් නිශ්ශබ්ද අය. ඉතින් ඊට හාත්පසින්ම පටහැනි ලක්ෂණ තියෙන මාව කවදාක්වත් අහිංසකව පෙනුනේ නෑ කාටවත්ම. මේ කොමෙන්ටුව දැක්කහම මටත් හිනා ගියා මිසක් ඒ කාලෙදි වත් මට හිතුනේ නෑ මං අහිංසකයි කියලා. නමුත් මගේ විවාහයෙන් පසුව ජීවිතයේ එක්තරා අවස්ථාවකදී දිලූප කියනවා "ඔයා අහිංසකයි" කියලා. මම ඔහුටත් කියන්නේ "මම අහිංසක නැහැ ඔයා තාම මගේ හැටි දන්නෙ නෑ" කියලා. එතකොට ඔහු කියනවා "නැහැ මම කියන්නේ ඔයා මේ කාරණයේදී, මේ අවස්ථාවේදී අහිංසකයි" කියලා.අහිංසකකම කියන්නේ පුද්ගලබද්ධ කාරණාවක් නෙවෙයි අවස්තානුබද්ධ දෙයක් කියල මම තේරුම් ගන්නෙ එතනදි ඔහු මාව ව්ග්රහ කරපු ආකාරයෙන්. අහින්සක කම මනින්නෙ talklative or taciturn ද softspoken or loud ද outgoing or shy ද අනුව නෙමේ ජීවිතේ ගන්න තීරන අනුව, එක් එක අවසතාවන්හිදී හැසිරෙන අනුව කියලා අද මට හිතෙනවා. බෞද්ධ ඉතිහාසයෙ අහින්සක නේ අන්ගුලිමාල උනේ, අන්ගුලිමාල තමයි පසුව අන්ගුලිමාල මහ රහතන් වහන්සේ උනෙත්. සියල්ල අවස්තානුබද්දයි, කාරනාබද්දයි. ඉතින් මමත් ජීවිතයේ ඒකාලයේ යම් යම් කාරණාවලදී අහිංසක වෙලා ඇති,ඒක මේ යාළුවෝ දෙන්නා ට ඒ කාලේ පෙනෙන්න ඇති, මෑත කාලයේ දී දිලූපට පෙනෙන්න ඇති.
අද සමාජයේ මෙහෙම කොල කෑල්ලක ලියල කොමෙන්ටු අතට නොදුන්නත් සමාජ මාධ්ය වල නිතරම අපි අන් අයට කොමෙන්ටු දානවා. දන්න නොදන්න හැමෝටම. මේවා අතර හොඳ නරක දෙකම තියෙනවා. Praisings, admirations, motivations වගේම hate speech and cyber-bullying ත් ඒ අතර තියෙනවා. කෙනෙක් තව කෙනෙක්ට කියන දෙයක් ඒ කෙනාගේ ජීවිතේට මානසිකව ශක්තියක් වෙන්නත්, මානසිකව දුර්වල කරන්නත් පුළුවන්.
ඉතින් ඉරිදා දහම් පාසලෙන් ලැබුණු ආගමික දැනුමට වඩා, මට ලැබුනු වටිනම දේ යොවුන් සමිතියේ මිතුරු මිතුරියන්ගෙ මේ කොමෙන්ටු 13 කියලා අද මට හිතෙනවා. එදා අවුරුදු දාහතක වයසෙදි මගේ මිතුරු මිතුරියන් මට දුන්න මේ කොමෙන්ටු 13 එතනින් එහා අද වෙනතුරු ජීවිතයේ මට ගයිඩ්ලයින් එකක් වුණු බව එයාලවත් දන්නේ නැතිව ඇති. මේ යාලුවෝ වැඩි පිරිසක් මගේ මුහුණු පොතේ ඉන්නවා. මේ ලිපිය දැක්කොත් අකුරු හඳුනා ගනීවි. ලිව්වේ මොන කොමෙන්ටුවද දන්නෙ නැති උනාට, මට නම් වශයෙන් ඔයාලව මතක තියෙනවා. නමුත් මම නම් සඳහන් කරන්න අවසර ලබා ගත්තේ නැති නිසා මෙතැන ලියන්නෙ නෑ.
ඉතින් ජීවිතයේ මැදිවයස වෙනකම්ම බලමින් personally groom වෙන්න, ජීවිතයට ගයිඩ්ලයින් එකක් දුන්නට ඔයාලට ගොඩාක් ස්තූතියි❤️



Glum/ ග්ලුම්

මේක චූටි කතාවක්, හදිස්සියේ මයි ලියන්න හිතුනෙ. එකපාරටම Glum ගැන ලියන්නෙ ඇයි කියලා ඔයාල හිතනවා ඇති. අපි පොඩි කාලේ බලපු ගලිවර්ගේ සුවිසැරිය කාටුන් එකේ කොයි වෙලෙත් "ඕක හරියන්නෑ" කියන Glum ඔයාලට මතක ඇති. ඉන්ග්රීසි කාටූන් එකේ නම් කියන්නෙ, it's hopeless, we will never make it කියලා.
මගේ හස්බන්ඩ් දිලූපත් හරියට Glum වගෙයි😁 හැබැයි එයා ඕක හරියන්නෑ කියන්නේ මම කරන්න බලාපොරොත්තු වෙන ව්යාපෘති වලට විතරයි. මම ඉඩමක් ගන්න හැදුවත්, ගෙයක් හදන්න හැදුවත්, වගා කරන්න හැදුවත්, cake එකක් හදන්න හැදුවත් එයා හිනා වෙලා කියනවා "ඕක නම් ඔයාට හරියන් නෑ, ඔයා තවත් ගානක් නැති කරගන්න තමයි හදන්නෙ" කියල හැබැයි එයා ඒ විදිහට කියන්නේ මගේ වැඩ වලට විතරයි. එයා කරන ඕනම ව්යාපෘතියක් හොඳටම හරියයි කියල හිතනවා, හැබැයි මොකක්දෝ එකක් නිසා එයාගෙ ඒවා හරි යනවා වගේම මගේ ඒවා ඔක්කොම වරදිනවා.මට සෑහෙන්න පාඩුත් සිද්ද වෙනවා. ඉතින් මේ අවුරුදු දහයක විවාහ ජීවිතය එයා "ඕක ඔයාට හරි යන්නේ නෑ" කියලා කියපු කිසිම දෙයක් ඇත්තටම හරි ගිහිල්ලත් නෑ, කොටින්ම පොඩි කාලේ ඉදන්ම කේක් හදන්න දන්න මම මම කසාද බැඳලා හදපු මුල්ම කේක් එකත් පිච්චුනා🤷 (මේ ඔක්කොම ගැන පසුව ලියන්න හිතන් ඉන්නවා)
ඉතින් මේ Glum ගැන හදිස්සියේම ලිව්වෙ මගේ ජීවිතේ ඉන්න Glum පලවෙනි වතාවට මම කරන්න හදන දේකට කිව්වා "හොඳ අදහසක්" කියලා. ඒක ඉතින් මට විශේශයි.
පසුගිය ලිපියෙන් පස්සේ Manjula Perera මහත්මයා යෝජනා කරලා තිබ්බ බ්ලොග් එකක් ලියන්න කියලා. එතුමා තමයි "තට්ටයගෙ කොලම" කියන බ්ලොග් එක ලියන්නෙ. බ්ලොග් කියන්නෙ මට අලුත්ම අදහසක්, ඒක හරිම අපූරු දෙයක් කියලා හිතෙනවා. ඒ ගැන දිලූපට කිව්වම "ඒක නම් හොද අදහසක්" කිව්වා. ලියන්න ඕනි දේවල් ගැන එයාගෙ යෝජනාත් කිව්වා, මට පුදුම හිතුනා. හැබැයි ඒ ලියපු පලවෙනිම ලිපිය ගැන මුකුත් කිව්වේ නැතුව ඒ වොලට්ස් දෙක නම් හරිම කැතයි කිව්වා😁 ඒ වොලට්ස් මම සල්ලි වලට ගත්ත ඒවා නෙමෙයි, මට ලැබුණු ඒවා. ඒවා ලැබුණු හැටි මම පසුව ලියන්න යන්න හිතන් ඉන්නවා.
කොහොම නමුත් ග්ලුමුත් අනුමත කරපු නිසා බ්ලොග් එකක් පටන් ගන්න ඕනේ. මගේ ලිපිය කියවපු ලයික් කරපු කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි🙏ඒවා මට ගොඩක් වටිනවා.
දැන් මේ ඔක්කොම පැත්තකින් තියලා මට ආපහු ගලිවර්ගේ සුවිසැරිය බලන්න හිතෙනවා😁
හැමෝටම සුභ දවසක් ❤️

සමුදුර

  සමුදුර  උදේ හිම දැකලා ලියනකොට සමුදුර පත්තරය ගැන මතක් උනා. මම මේ පිටුව පටන් ගත්තේ මගේ ජීවිතයේ අත්දැකීම් ලියල තියන්න. සමුදුර කියන්නේ ජීවිතයේ...