Monday, July 24, 2023


යොවුන් සමිතියේ කොමෙන්ටු 13⛪📑

උපතින්ම ලැබුණු වරප්රසාදයක් මොකක්ද කියලා කවුරුහරි මගෙන් ඇහුවොත් මම කියන්නේ මිශ්ර ආගමික විවාහයක දරුවෙක් විදිහට ඉපදෙන්න ලැබීම කියලා. ඒකත් ප්රධාන ආගම බෞද්ධාගම උනු රටක කතෝලිකයෙකු වෙලා ඉපදෙන්න ලැබීම. මම එහෙම කියන්නේ කතෝලික ආගම බෞද්ධාගමට වඩා හොඳයි කියලා නෙමේ. රටේ ප්රධාන ආගමට අයත් නොවීම මට උනු හොදක් කියල.
ශ්රී ලංකාව 1978 ව්යවස්ථාවෙ දෙවැනි පරිච්ඡේදයේ නම වෙනි ව්යවස්තාවෙන් ආගමික නිදහස පිළිගත් රටක්. නමුත් ලංකාව ස්වීඩනය තරම් secular state එකක් නොවේ. ව්යවස්ථාවේම යම් තැනක බෞද්ධාගම ප්රධාන යයි දක්වලා තියෙනවා. රටේ බහුතර ජන ප්රමානයක් බෞද්ධ. මගේ අම්මා බෞද්ධ, තාත්තා කතෝලික. ඒ නිසාම මමත් නංගිත් බෞතීස්ම කරපු කතෝලිකයන්. කතෝලිකයන් කියන්නේ රටේ සුළු ආගමික ප්රජාව. සුලු ආගමික ප්රජාවට අයිති වීම නිසා ඒ ආගම ගැන ගැනත් අම්මගේ ආගම සහ රටේ ප්රධාන වෙච්ච බෞද්ධාගම ගැනත් පොඩි කාලෙ ඉදන්ම මට අවබෝධයක් ලැබී තිබෙනවා. ඒකයි මම කිව්වේ ප්රධාන ආගමට අයත් නොවීම හොඳයි කියලා. මිශ්ර විවාහයකින් වුණත් තාත්තා බෞද්ධ වෙලා මමත් බෞද්ධ වුනානම් කතෝලික ආගම ගැන ලොකු අවබෝධයක් නොලැබෙන්න ඉඩ තිබ්බා. ඉතින් මේ පවුල් පසුබිම නිසාම එකම ආගමක කොටු නොවී ඉන්න මට කුඩා කාලයේ ඉදන්ම අවකාශය ලැබී තිබෙනවා.
ජීවීතයේ පසුකාලයේදී පල්ලියේ විවිධ නිකායන් වගේම පන්සලේ විවිධ නිකායන් එක්කත් මම ගනුදෙනු කරල තියෙනවා. උදාහරණයක් විදිහට සීශෙල්ස් වල ජීවත්වෙන කාලයේදී ඇංග්ලිකන්, ජර්මනියේ දී ප්ර්ටෙස්ටන්ට් සහ යෙහෝවා වහන්සේ සාක්ෂිකාරයෝ, සිංගප්පූරුවේදී හින්දු සහ මෛත්රී බුදුන් අදහන ජන සමාජ මම ස්පර්ශ කරලා තියෙනවා. අද වෙනකොට මට තියෙන්නෙ මේ ඔක්කොම එකතු කරලා මමම හදාගත්ත ආගමක්, වෙලාවකට මම සර්ව ආගමික, තව වෙලාවකට නිරාගමික. නමුත් මනුස්සයෙකුට ආගමක් තිබිය යුතුම නම් සහ එක ආගමක් පමනක් නම් තිබිය යුත්තෙ මම කතෝලිකයෙකු ලෙස හඳුන්වන්න මම කැමැතියි. හැබැයි මේ කතාව ආගමෙන් පටන් ගත්තට ආගම් ගැන නෙමේ. ඒවා ගැන මගේ සත දෙක පසුව ලියනවා.මේ ලියන්නෙ කතෝලික වීම නිසා පුංචි කාලේ මම ගියපු පල්ලියේ දහම් පාසල ගැන දහම් පාසලෙන් මට ලැබුණු වටිනා තෑග්ගක් ගැන.
කුඩා කාලේ අපි හැමෝම දහම් පාසල් යනවා. මමත් පුංචිම කාලේ ඉදන් පහ වසර වෙනකම් යන්නෙ කුරුනෑගල මාවතගම මීසමට අයත් මිල්ලව පල්ලියේ දහම් පාසලට. ඉන් පසුව හය වසරේ සිට එකොලහ වසර වෙනකම් කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරට අයත් දහම් පාසලට. මේ දහම් පාසල පැවැත්වෙන්නේ ශුද්ධවූ පවුලේ බාලිකා මහා විද්යාලයේ පාසැල් ගොඩනැගිලි වල. ඒක තමයි මගේ පාසලත්. දහම් පාසලට ශුද්ධවූ පවුලේ බාලිකාවේ වගේම සහෝදර පාසලේ වෙච්ච ශාන්ත ආනා මහා විද්යාලයේ කතෝලික සිසුසිසුවියන් තමයි සහභාගි වෙන්නෙ. දහම් පාසල් අත්දැකීම් හරිම සුන්දරයි. අපි කතෝලික ධර්මය ගැන ඉගෙන ගන්නව වගේම නොයෙකුත් උත්සව සංවිධානය කරනවා, කථික තරඟ, රචනා තරග වලට සහභාගි වෙනවා, ප්රදර්ශන සංවිධානය කරනවා, නත්තල් කාලෙට කැරොල් ගායනා කරනවා, විනෝද චාරිකා යනවා. කොටින්ම පාසල් කාලේ සුන්දරම අත්දැකීම් ගොන්නක් ලැබුණු තවත් තැනක් තමයි පල්ලියෙ ඉරිදා දහම් පාසැල. ඒ කාලේ ශාන්ත ආනා පල්ලියෙ මීසම් පාලක ප්රධාන පියතුමා උනේ ගරු මයිකල් කොස්තා පියතුමා. සිස්ටර් අයිඩා,සිස්ටර් ඉවැන්ජලින් සහ සිස්ටර් ගේස් මුල කාලයේදීත්, සිස්ටර් ඉන්ද්රානි, සිස්ටර කැමිලා සහ සිස්ටර් හෙන්රිටා කියන කන්යා සොයුරියන් පසු කාලයේදීත් මේ දහම් පාසලේ ඉගැන්නුවා.
මට මතක හැටියට දහම් පාසල පටන් ගත්තේ උදේ හතහමාරට. දහය හමාර වෙනකන් අපිට ඉගැන්නුවා. ඉන්පසු අපි ශුද්ධ වූ පවුලේ බාලිකාවේ සිට පෙළ ගැසිලා යනවා ශාන්ත ආනා දෙව් මැදුරට උදේ දහය හමාරේ ඉරිදා දිව්ය පූජාවට. පූජාව ඉවර වෙලා ගෙදර එනකොට මධ්යහනය පහු වෙනවා. ඉතින් ඉරිද දවසෙ බාගයක්ම ගෙවෙන්නේ පල්ලියේ. පාසැලේ හය වසරේ සිට එකොලහ වසර දක්වා කියන්නේ අවුරුදු හතක කාලයක්. සාමාන්ය පෙළ ලිව්වට පස්සෙ දහම් පාසැල් ගමන අවසාන වෙනවා. ඉතින් අපේ මේ දහම් පාසලේ මිතුරු මිතුරියන්ට අවශ්ය වෙනවා අපේ එකමුතුකම දිගටම තියාගන්න. 2000 වසරට පෙර කියන්නෙ අද වාගේ හැම කෙනාටම ජංගම දුරකතනයක් තිබ්බ, සමාජ මාධ්ය තිබ්බ, WhatsApp groups තිබ්බ කාලයක් නෙමෙයි. යාලුකම් පවත්වන්න නම් මුන ගැහෙන්නම ඕනි.
ඒ කාලේ ශුද්ධවූ පවුලේ බාලිකාවට බොහොම තරුන හුරුබුහුටි සිස්ටර් කෙනෙක් එනවා සිස්ටර් දිනේශා කියලා. සමාන්යා පෙල වෙනකම් අපේ උපදේශිකාව උනු සිස්ටර් ඉන්ද්රානි ගෙ ස්ථාන මාරුවත් එක්ක අලුතින් එන්නෙ මේ චූටි සිස්ටර්. අපි මේ සිස්ටර් එක්ක එකතු වෙලා සාමාන්ය පෙළින් පසු පල්ලියේ යොවුන් සමිතියක් පිහිටුවා ගන්නවා. යොවුන් සමිතියෙ ඉන්නේ දහම් පාසලේ කුඩා කාලයේ ඉදන්ම හිටපු, සාමාන්ය පෙලින් පසු තවදුරටත් දහම් පැසලට අයත් නොවුනු පල්ලියෙ තරුන පිරිස. ඒ කිව්වෙ අපි ටික. අපි හැම ඉරිදාම පල්ලි එනවා දිව්ය පූජාවට. මට මතක හැටියට මාසෙකට සැරයක් විතර පූජාවෙන් පසු අපේ යොවුන් සමිතිය රැස් වෙනවා. සිස්ටර් අපිට තවදුරටත් ආගමික කරුනු කියලා දෙනවා. ඒ වගේම ලමා වයසෙන් තරුන වයසට පා නගමින් ඉන්න අපිට නොයෙක් ගුරුහරුකම් දෙනවා, පෞරුශත්වය වර්ධනයට නොයෙකුත් ක්රියාකාරකම් වල යොදවනවා.
මම පින්තූරයේ දාලා තියෙන්නේ සිස්ටර් දිනේශා මේ යොවුන් සමිතියේදී අපිට දුන්නු ක්රියාකාරකමක් සහ ශාන්ත ආනා ආසන දෙව් මැදුර. දිනය තියෙන්නේ දෙදාහේ මාර්තු 26 වැනිදා.මේ පුංචි කොළ කෑල්ල මගේ අර නැති වෙලා හම්බුන වොලට් එකේ ඇතුලෙ තිබ්බ තවත් වටින දෙයක්. මේක දැක්කහම තමයි මට හිතුනෙ නැතිවුන සල්ලිවලට වඩා මේක ආපහු ලැබුනු එක කොච්චර වටිනවද කියලා. මං ගාව මේ කොල කැබැල්ලේ පිංතූරයක් වත් තිබුනේ නැහැ. 2000 න් පසු ගෙවුණු අවුරුදු 23 තුළ වොලට්ස් කොච්චර මාරු වුණත් මේ පුංචි කොළ කෑල්ල මම දිගටම තියාගෙන ඉන්නවා. මේ කොල කෑල්ලෙන් මගේ ජීවිතයට ලැබෙන දේ තමයි අද ලියන්නෙ.
මම දැකලා තියෙනවා මේ මුහුණු පොතේ මිතුරු මිතුරියන් ශෙයා කරනවා "ඔබ මං ගැන මොනවද හිතන්නේ කියලා" පෝස්ට් එකක්. සමහර වෙලාවට මමත් ඒ වගේ දේවල් වලට කමෙන්ට් කරලා තියෙනවා. මේ කොල කෑල්ලත් එහෙම පෝස්ට් එකක් කිව්වොත් හරි. හැබැයි සමාජ මාධ්ය එන්න කලින්.සකර්බර්ග් මහත්මයා මුහුණු පොත හොයා ගන්නේ 2004 දි. ඒක ලංකාවේ ප්රචලිත වෙන්න පටන් ගන්නෙ 2007 විතර මට මතක හැටියට. ඊට පස්සෙයි අපට "Comments" කියන වචනය සුලභ වචනයක් වෙන්නේ. නමුත් මට මේ කොමෙන්ටු 13 ලැබී තිබෙන්නේ වර්ශ 2000 දි.
දහම් පාසලේ යොවුන් සමිතිය දෙදාහේ මාර්තු 26 වැනි දා රැස් වෙච්ච වෙලාවේ සිස්ට දිනේශා අපිට එක් එක්කෙනාගෙ නම් ලියපු කොළ කෑලි බෙදල දීලා කියනවා කොල කෑල්ලේ නම තියෙන කෙනා ගැන අපට හිතෙන දේ ලියන්න කියලා. මගෙ කොල කෑල්ලෙ "සුලාරි" කියලා නම ලියලා තියෙන්නෙ සිස්ටර් දිනේශා. ඉතින් එදා සමිතියෙ දාහතර දෙනෙක් ඉඳලා තියෙනවා මාත් එක්ක. මට කොමෙන්ටු දහතුනක් ලැබිලා තියෙනවා අනිත් මිතුරු මිතුරියන්ගෙන්. මේ කොමෙන්ටු බොහොම අව්යාජ ඒව කියල මට හිතෙනවා. මොකද ඒ කාලේ අපිට වයස දාහතයි. ජීවිතේ කුඩාම කාලයේ ඉදන් දැනන් හිටපු මිතුරු මිතුරියන් මේ ලියලා තියෙන්නේ. බාහිර සමාජය එක්ක මිශ්ර වෙලා, අත්දැකීම් ලබලා personality එක වෙනස් වෙච්ච, ඒ අත්දැකීම් අනුව ගතිගුනත් shape up වෙච්ච කාලයක් නෙමේ මේක. ජීවිතයේ නොයෙක් අවස්ථාවලදී මේ කොළය මම අතට අරගෙන බලනවා ලමා කාලයේ මගේ මේ යාලුවෝ මගෙන් දැකපු මේ කියන ගති ලක්ෂණ මට තාම ඉතිරි වෙලා තියෙනවද කියලා. ඉතින් මේ කොමෙන්ටු 13 මගේ ජීවිතයට නිකං ගයිඩ් ලයින් එකක් වගේ.
හැබැයි මේ 13 අතරින් දෙවෙනි දෙවෙනි සහ එකොළොස්වැනි කොමෙන්ටු දැක්කාම ඉස්සර මට හිනා යනවා. ලියපු යාලුවෝ කොලොප්පමට ලිව්වද කියලත් හිතෙනවා. ඒ කොමෙන්ටු දෙකේම තියෙනවා මම අහිංසකයි කියලා 😁මම කොහෙද අහිංසක. මේ දෙන්න මෙහෙම ලියනකම්ම ජීවිතයේ මට කවුරුත් ඒ වෙනකොට අහිංසකයි කියලා කියලා තිබ්බේ නැහැ. ඒකටත් හේතුවක් තියෙනවා.සාමාන්යයෙන් මට වේගෙන් කතා කරන්න පුළුවන්, ශබ්ද නගා කතා කරන්න පුළුවන්, කටහඩත් සාම්ප්රදායික ලාලිත්යමය ගැහැනු කටහඩකට වඩා බේස් කටහඩක්. ඒ වගේම මම හිතට එන දේ එවෙලෙම ඕනිම කෙනෙක්ගෙ මූනටම කියලා දානවා. මට හිතෙන හැටියට ලංකාවේ සමාජයේ සාමාන්යයෙන් අහිංසකයි කියලා පිළිගැනෙන්නේ ශබ්දය අඩුවෙන් කතා කරන, වචන ප්රමානය අඩුවෙන් කතා කරන, ටිකක් නිශ්ශබ්ද අය. ඉතින් ඊට හාත්පසින්ම පටහැනි ලක්ෂණ තියෙන මාව කවදාක්වත් අහිංසකව පෙනුනේ නෑ කාටවත්ම. මේ කොමෙන්ටුව දැක්කහම මටත් හිනා ගියා මිසක් ඒ කාලෙදි වත් මට හිතුනේ නෑ මං අහිංසකයි කියලා. නමුත් මගේ විවාහයෙන් පසුව ජීවිතයේ එක්තරා අවස්ථාවකදී දිලූප කියනවා "ඔයා අහිංසකයි" කියලා. මම ඔහුටත් කියන්නේ "මම අහිංසක නැහැ ඔයා තාම මගේ හැටි දන්නෙ නෑ" කියලා. එතකොට ඔහු කියනවා "නැහැ මම කියන්නේ ඔයා මේ කාරණයේදී, මේ අවස්ථාවේදී අහිංසකයි" කියලා.අහිංසකකම කියන්නේ පුද්ගලබද්ධ කාරණාවක් නෙවෙයි අවස්තානුබද්ධ දෙයක් කියල මම තේරුම් ගන්නෙ එතනදි ඔහු මාව ව්ග්රහ කරපු ආකාරයෙන්. අහින්සක කම මනින්නෙ talklative or taciturn ද softspoken or loud ද outgoing or shy ද අනුව නෙමේ ජීවිතේ ගන්න තීරන අනුව, එක් එක අවසතාවන්හිදී හැසිරෙන අනුව කියලා අද මට හිතෙනවා. බෞද්ධ ඉතිහාසයෙ අහින්සක නේ අන්ගුලිමාල උනේ, අන්ගුලිමාල තමයි පසුව අන්ගුලිමාල මහ රහතන් වහන්සේ උනෙත්. සියල්ල අවස්තානුබද්දයි, කාරනාබද්දයි. ඉතින් මමත් ජීවිතයේ ඒකාලයේ යම් යම් කාරණාවලදී අහිංසක වෙලා ඇති,ඒක මේ යාළුවෝ දෙන්නා ට ඒ කාලේ පෙනෙන්න ඇති, මෑත කාලයේ දී දිලූපට පෙනෙන්න ඇති.
අද සමාජයේ මෙහෙම කොල කෑල්ලක ලියල කොමෙන්ටු අතට නොදුන්නත් සමාජ මාධ්ය වල නිතරම අපි අන් අයට කොමෙන්ටු දානවා. දන්න නොදන්න හැමෝටම. මේවා අතර හොඳ නරක දෙකම තියෙනවා. Praisings, admirations, motivations වගේම hate speech and cyber-bullying ත් ඒ අතර තියෙනවා. කෙනෙක් තව කෙනෙක්ට කියන දෙයක් ඒ කෙනාගේ ජීවිතේට මානසිකව ශක්තියක් වෙන්නත්, මානසිකව දුර්වල කරන්නත් පුළුවන්.
ඉතින් ඉරිදා දහම් පාසලෙන් ලැබුණු ආගමික දැනුමට වඩා, මට ලැබුනු වටිනම දේ යොවුන් සමිතියේ මිතුරු මිතුරියන්ගෙ මේ කොමෙන්ටු 13 කියලා අද මට හිතෙනවා. එදා අවුරුදු දාහතක වයසෙදි මගේ මිතුරු මිතුරියන් මට දුන්න මේ කොමෙන්ටු 13 එතනින් එහා අද වෙනතුරු ජීවිතයේ මට ගයිඩ්ලයින් එකක් වුණු බව එයාලවත් දන්නේ නැතිව ඇති. මේ යාලුවෝ වැඩි පිරිසක් මගේ මුහුණු පොතේ ඉන්නවා. මේ ලිපිය දැක්කොත් අකුරු හඳුනා ගනීවි. ලිව්වේ මොන කොමෙන්ටුවද දන්නෙ නැති උනාට, මට නම් වශයෙන් ඔයාලව මතක තියෙනවා. නමුත් මම නම් සඳහන් කරන්න අවසර ලබා ගත්තේ නැති නිසා මෙතැන ලියන්නෙ නෑ.
ඉතින් ජීවිතයේ මැදිවයස වෙනකම්ම බලමින් personally groom වෙන්න, ජීවිතයට ගයිඩ්ලයින් එකක් දුන්නට ඔයාලට ගොඩාක් ස්තූතියි❤️

9 comments:

  1. තට්ට මහතාගේ ඔත්තුවක් මත ඕන්න කොළොම්පුරයාත් ගොඩවැදුනා.. එහෙනම් අපේ සිංහල බ්ලොග් ගොඩට එක්කාසු උනාට හදපිරි උණුසුම් සුබ පැතුම් ..

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි අසංග !

      Delete
  2. තට්ට මහත්තයාගෙ ඔත්තුවෙන් තමයි ආවෙ. Follower ගැජට් එකක් දාගත්තනන් follow කරන්න ලේසියි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉයන්. එහෙම එකක් දාගන්නම් ඉක්මනටම

      Delete
  3. ඔබේ සටහන කියවන විට මවිසින් මගේ බ්ලොගය තුලින් ඉදිරිපත් කළ මේ කතාව මතක් උනා. වෙලාවක් තිබුනොත් කියවා බලන්න.
    https://sithuviliralabinduma.blogspot.com/2021/05/blog-post_25.html

    ReplyDelete
  4. අද තමයි මුලින්ම ආවෙ ඔන්න.
    ඔක්කොම post කියෙව්වා😄

    දිගටම ලියමූ....

    ReplyDelete
  5. අලුත් බ්ලොග් එකට සුබ පැතුම්!
    දිගටම ලියන්න. ඒ වගේම සඳකඩපහණ සිංඩියෙන් අනෙක් බ්ලොග් එහෙමත් කියවන්න... ඉඩ තියෙන වෙලාවක.

    ReplyDelete
  6. නමිය පෙන්නපු පාර දිගේ ආවෙ. අඩේ මාරම ලස්සන, ඒ වගේම අර්ථවත් ලියවිල්ලක් නෙව? ඔබට පුළුල් අත්දැකීම් තියනවා. දිගටම ලියන්න. අපි එන්නම් කියවන්න. 🙏👌

    මම බ්ලොග් රෝලෙ එල්ල ගත්තා, අලුත් ලිපි මිස් නොවෙන්න.

    ReplyDelete
  7. නමියගේ ඔත්තුවකින් ආවේ. දිගටම ලියන්න.

    ReplyDelete

ස්තූතියි 2023❤️

 ස්තූතියි 2023 ❤️ එක පාරටම බ්ලොග් එකක් පටන් ගත්තට මොකද ඒක ලත් තැනම ලොප් උනා වගේ එතනම නැවතුනා. ඒකට හේතුව වුණේ මම මේ රටට ආපු හේතුව උනු මාස්ටර්...