Saturday, December 30, 2023

ස්තූතියි 2023❤️


 ස්තූතියි 2023 ❤️

එක පාරටම බ්ලොග් එකක් පටන් ගත්තට මොකද ඒක ලත් තැනම ලොප් උනා වගේ එතනම නැවතුනා. ඒකට හේතුව වුණේ මම මේ රටට ආපු හේතුව උනු මාස්ටර් උපාධිය මම සැලසුම් කරපු කාලයට වඩා ඉක්මනින්ම ඉවර කරන්නට වීමත් පශ්චාත් උපාධිය පටන් ගන්නට වීමත්. මම මේ බ්ලොග් අඩවිය සහ ෆේස්බුක් පිටුව පටන් ගන්නකොට පශ්චාත් උපාධියක් ගැන හිතේ අදහසක්වත් තිබ්බේ නැහැ. නමුත් දැන් තත්ත්වය ටිකක් වෙනස් වෙලා. ආපහු කොහෙන්ද පටන් ගන්නේ කියලා කල්පනා කරනකොට මට හිතුනා 2023 අවුරුද්ද ගෙවුන හැටි ගැන පුංචි සටහනක් ලියලාම ආපහු ලියන්න පටන් ගන්නවා කියලා.

2023 පටන් ගන්නකොට මට මේ අවුරුද්ද තුල කරන්න ඉලක්ක තුනක් තිබ්බා. එකක් උපාධිය ඉවර කිරීම. දෙක රැකියාවක් ලබා ගැනීම. මාස්ටර් උපාදියක් සාමාන්‍යයෙන් සෙමෙස්තර හතරක් උනත්, පස් වෙනි සෙමෙස්තරකට අයදුම් කරලා, නිබන්දනය ලියන ගමන් රැකියා වලට අයදුම් කරන්න තමයි මගෙ සැලසුම තිබුනේ. මගේ ගුවන් ගමන් බලපත්‍රය ලංකාවට නොයා අලුත් කරගන්න එකත් මේ අවුරුද්දෙ තිබ්බ තව අවශ්‍යතාවයක්. ඇයි ලංකාවට නොයා කියන එකට පිලිතුරක් ලිව්වොත්, මගෙ පර්‍යේශනයේ කටයුතු නිසා කාර්‍ය බහුල වීම, ඒ වෙද්දි මම නිරත වෙමින් සිටි විශ්ව විද්‍යාලය තුල සහ ඉන් පිට අමතර රැකියාවල් දෙකෙහි නිවාඩු ලබා ගැනීමෙ අපහසුතා වගේම ලංකාවට යෑමට ගතවන වියදමද බලපෑවා. අවුරුද්ද පටන් ගනිද්දි මට තිබුනේ මේ ඉලක්ක ටික විතරයි. නමුත් අද මේ අවුරුද්ද අවසාන වෙනකොට, මම ඊට වඩා සෑහෙන වැඩ ගොඩක් මේ අවුරුද්දෙ කරල වගේම 2023 කියන්නෙ මම මගෙ ජීවිතයේ ගත කරපු සාර්තකම අවුරුද්දක්. 


මුලින්ම මම අවුරුද්ද පටන් ගත්තෙ නව ගුවන් ගමන් බලපත්‍රයක් පිලිබදව මගෙ අවශ්‍යතාවය සදහන් කරලා ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඊමේල් පණිවිඩයක් යවලා. ඒ වෙද්දි මගේ ගමන් බලපත්‍රය කල් ඉකුත් වෙන්නට අවුරුදු එකහමාරමක් තිබුණා වුණත් මට වුවමනා වුණා මේ අවුරුද්දේ සැප්තැම්බර් වලට කලින් එය අලුත් කරගන්න, නැවත රැකියාවක් එක්ක වීසා අයදුම් කරනකොට ගමන් බලපත්‍රයේ කාලය ඉදිරියට තියෙන එක අවශ්‍ය කාරණයක් වෙයි කියලා මට හිතුන හින්දා. ඉතින් මම ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලට ඊමෙල් පණිවිඩයක් යොමු කරහම පිළිතුර එන්නේ කල් ඉකුත් වෙන්න වසරකටත් වැඩි කාලයක් තියෙන නිසා මට දැන්ම appointment එකක් ලබා දීමට නොහැකි බවත්, මා අයදුම් කල යුත්තේ කල් ඉකුත් වීමට මාස හයක කාලයක් තිබෙන විට බවත්, එයට පෙර නව ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය නම් එය ලංකාවට ගොස් කරගත යුතු බවත් දන්වලා. නමුත් එයින් නොපසුබසින මම ආපහු වතාවක් ඊමේල් පණිවිඩයක් ලියනවා මට ලංකාවට යන්නැතුව ගමන් බලපත්‍රය දිගු කරගන්න අත්‍යවශ්‍ය වෙලා තියෙන්නෙ ඇයි කියලා පැහැදිලි කරලා. මෙතනදි මට පුංචි වැරදීමක් වෙනවා. පුංචි කිව්වට ඒක පුංචිත් නෑ, ලොකු වැරදීමක්. මම මේ ඊමෙල් පණිවිඩය ලියන්නේ ජනවාරි මාසේ නමවෙනිදාවක. අවුරුද්දක ජනවාරි මාසේ මුල් දවස් කීපය කියන්නේ අපි කාටත් අවුරුද්ද වරදින දවස්. මට මෙතනදි මගේ ගමන් බලපත්‍රය කල් ඉකුත් වෙන්නේ 2024 වෙනුවට 2023 කියලා ලියවෙනව. ඒ ඊමේල් පණිවිඩ මට පිළිතුරක් වශයෙන් මට මගෙ අයදුම්පත සමග පැමිනෙන්නට දිනයක් සහ වෙලාවක් ලැබෙනවා.මට හරි සතුටු හිතෙනවා වැඩේ සාර්තක උනු නිසා. සතුට වැඩිකමට මං ආපහු මගේ ඊමෙල් පණිවුඩය බලනවා කලින් ඊමෙල් පණිවිඩයෙන් මගෙ අයදුම ප්‍රතික්‍ෂේප වෙලා තියෙද්දිත් දෙවෙනි පණිවිඩයෙන් පස්සෙ දිනයක් ලැබෙන්න තරම් මං මොනවද ඒකේ ලිව්වේ කියලා දැනගන්න. මම දකිනවා මට දිනය වැරදිලා කියලා. මම ආපහු ඒකට සමාව ඉල්ලලා, නිවැරදි කරලා ඊමෙල් පණිවිඩයක් යවනවා. එතනදි මට ආපහු පිළිතුර ලැබෙන්නේ මුල්ම පිලිතුරේ විදිහට මගෙ අයදුම ප්‍රතික්ශේප කරලා. මම ආපහු තනාපති කාර්‍යාලයට මගෙ දුක් ගැනවිල්ල ලියනවා. එතනදි මට ඊමේල් පනිවිඩයක් එනවා මගේ දුරකථන අංකය ලබා දෙන ලෙස. තානාපති කාර්යාලයේ නිලධාරියෙක් මට කතා කරනවා, එලෙස කතා කර මගේ අවශ්‍යතාවය නිසියාකරව දැනගෙන මට දන්වනවා, අදාල සියලුම ලිපි ලේඛන සමඟ ලිපියක් එවන්න විශේෂ අවසරයක් ලබාගන්න අවශ්‍යයි කියලා. මං ඒ ලිපිය යවනවා. ඒ අනුව මට නැවත මගෙ අයදුම්පත ඉදිරිපත් කිරීමට දිනයක් සහ වෙලාවක් ලැබෙනවා. ඉතිං ඔය විදිහට මගෙන් වෙච්ච වැරදි ඊමේල් පනිවිඩය නිවැරදි කළ නිසාම මගේ අවශ්‍යතාවය මට ඉටු කරගන්නට ඉඩ ලැබෙනව. මම ඒ වැරැද්ද නිවැරදි කර නොගෙන, විශේශ අවසරය ලබා නොගෙන, මට මුලින් දුන්න දිනයට ගියා නම් සමහරවිට මට ආපහු හැරී එන්නත් සිද්ධ වෙන්න තිබුණ බවත් මට නිලදාරියෙක් දන්නනවා.


ඉතින් අවුරුද්දේ මුලදිම මාර්තු මාසය වෙනකොට මම ගමන් බලපත්‍රයේ අලුත් කරගන්නට බර්ලින් නගරයට ගිහින් මගෙ අයදුම්පත බාර දෙනවා. මම ඒ වෙද්දි ජර්මනියට ඇවිත් අවුරුද්දකට වඩා වැඩි උනත්, රටේ අගනුවර වන බර්ලිනයට යන්නෙ ප්‍රතම වතාවට. එහි නැවතීමට සැප පහසු හෝටල් කාමරයක් මට ඇනවුම් කර දෙන්නෙ දිලූප. කොතරම් සංචාරය කර තිබුනත් තනිවම හෝටලයක නැවතුනු පලමු වතාව බර්ලීන් ගමන. මේ බර්ලින් ගමනේදී  මගේ පාසලේ පුංචි කාලේ ඉඳන් දන්න මිතුරියක් වන රන්ධාරා නංගි මුණගැසෙනවා. ඇය නිසා මට නගරයේ ඓතිහාසික වැදගත්කමක් තියෙන ස්ථාන කීපයක්ම ඉතාම කෙටි වේලාවකින් නරඹන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම බර්ලීනයේ ශ්‍රී ලාංකික අවන්හලක රාත්‍රී ආහාර වේලකිනුත් ඇය මට සංග්‍රහ කරනවා. රන්ධාරා නංගිට ස්තූතිවන්ත වෙනවා බර්ලීන් සංචාරය රසවත් අත්දකීමක් කිරීම පිලිබදව. මතක සටහනක් විදිහට බර්ලින් තාප්පේ පුංචි ගල් කැබැල්ලක් තියෙන සමරුවකුත් මිලදී ගෙන තමයි මං ආපහු ගෙදර එන්නේ. මාර්තු මාසෙ අයදුම්පත බාරදීමෙන් පසුව, හරියටම මාස හයකින්, අගෝස්තු මාසෙ 31 දා මගෙ නව ගමන් බලපත්‍රය මගෙ ගෙදරටම ලැබෙනවා. මේ සම්බන්දයෙන් කටයුතු කරපු, බර්ලිනයෙ තානාපති කාර්‍යාලයේ නිලදාරි මහත්ම මහත්මින්ට ස්තුතිවන්ත වෙනවා. 


ඊළඟට මගේ උපාදියේ තුන්වෙනි සමස්තරයේ විෂයන් ටික මම ඉවර කරනවා සාර්ථකව, එක විෂයක්වත් අසමත් නොවී. ඒ විශයයන්ට අමතරව මම ජර්මන් භාෂාව විශ්ව විද්‍යාලයෙන් ඉගෙන ගනිමින් ඉන්නෙ. එය අමතර ඉගෙනීමක්. උපාදියට එය අදාල වෙන්නෙ නෑ. නමුත් ජර්මනියේ ජීවත් වෙන්න භාශාව අවශ්‍යයි. මගෙ ජර්මන් විභාගය මම සමත් වෙන්නේ නැහැ. ජර්මන් භාශා විභාගය තිබුණු දවසෙම මගේ ප්‍රධාන රසායන ව්ද්‍යා විෂයක විභාගයක් තිබුන නිසා මම වැඩි අවධානය යොමු කරන්නේ ඒ විෂයට. මේ නිසාම මම ජර්මන් භාෂාව ලිඛිත විභාගය සමත් වුණත් වාචික විභාගය සමත් වෙන්නේ නැහැ. මම උපාදිය සදහා විශ්ව විද්‍යාලයේ පැවැත්වූ එකම විෂයක් වත් අසමත් වී නෑ. ජර්මන් භාශා විභාගය අසමත් වීම මට දුකක් ගේනවා. මොකද මම හිතාගෙන හිටියෙ මට සමත් වෙන්න පුළුවන් වෙයි කියලා.ඒ අසමත් වුනු විභාගය සදහා ලබන අවුරුද්දේ පෙබරවාරි මාසේ විභාගෙට නැවත මුහුණ දෙන්න මම හිතාගෙන ඉන්නවා. බලමු.


ඊළඟට එන්නේ විභාගය ඉවර වුණාට පස්සේ ජ්ර්මන් මිතුරියන් හතර දෙනෙක් සමග යන ස්වීඩන් චාරිකාව. යුරෝපයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් එක සෙමෙස්තරයක් පිටරටක ඉගෙන ගන්න අයදුම් කරනවා. ඒකට කියන්නේ Erasmus කියලා ( European Community Action Scheme for the Mobility of University Students)  ඒ සෙමස්තරයේදී ශිශ්‍යයන් වෙන රටක විශ්ව විද්‍යාලයක ඉගෙන ගෙන ඒ අත්දැකීම් ලබාගන්නවා. ඉතින් මගේ එක ජර්මන් මිතුරියක් ඒ විදිහට ඉගෙන ගන්න  තෝරගන්නෙ ස්වීඩනයේ ස්ටොක්හෝම් විශ්ව විද්‍යාලය. පෙබරවාරි මාසයේ විභාග ඉවර කරලා එහි යන ඇය අපිට කියනවා ඇය එහි ඉන්න මාස හතර පහ තුළ එහෙ එන්න කියලා. ඒ අනුව අපි, අපි කිව්වේ මමත් මගේ ජර්මන් මිතුරියන් හතර දෙනෙකුත් අපේ විභාග අවසාන උනාට පස්සේ ස්වීඩනයට දවස් හයක චාරිකාවක් යනවා. මමයි එක් මිතුරියකුයි රයනෙයාර් ගුවන් යානයකින් තමයි ස්ටොක්හෝම් නගරයට යන්නේ.  ජර්මනියට ආවට පස්සේ යුරෝපය තුල මගේ පළමු අභ්‍යන්තර ගුවන් ගමන ඒක. මීට කලින් ඉතාලියට යද්දි මම ගමන් කරේ ඔස්ට්‍රියාව හරහා දුම්රියකින්. 

අපි මේ චාරිකාවේදී කතා කරගත් දෙයක් තමයි කවුරු හරි කෙනෙක් ට යම් දෙයක් කරන්න හෝ නරබන්න ඕනි උනොත් අපි පස්දෙනාම ඒ දේ එකතු වෙලා කරනවා කියන එක. ඉතින් එක් එක අයගේ යෝජනා අනුව නගරය පුරා පයින් යන ගමනක, ebike සවාරියක, බෝට්ටු සවාරියක, pub එකක බීර බීමට යෑමක, ඔපෙරාවක් නැරබීමක අත්දැකීම් ස්වීඩනයේ ගත කරපු දවස් කීපය තුල මම ලබා ගන්නවා. මගේ ජීවිතය තුල  පළමු ඔපෙරා අත්දැකීම මම ලබන්නෙ ටොස්කෝ ඔපෙරාව නරබලා. ඊට කලින් මම දැකල තිබ්බෙ Adventures of Tin Tin වල Bianca Casterfiore ගෙ ඔපෙරා ගායනා පමනයි. ස්වීඩන භාෂාවෙන් තිබුනු ටොස්කෝ ඔපෙරාව අවසානයෙ ටොස්කො මියයනකොට මගෙ ඇස් වල කදුලු. ඔපෙරාවක් බලමු කියලා මිතුරියක් යෝජනා කරාම මට එච්චර ලොකු කැමැත්තක් තිබ්බේ නැති වුණත්, මම අත්දකීමක් ලබන්න හිතාගෙන‍යි සහභාගි වෙන්නෙ, ඒ ඔපෙරාව අදටත් ලස්සනට මතක තියෙන්නෙ ඔවුන්ගෙ අති දක්ශ රන්ගනය නිසා. භාෂාව නොදැන වුණත් ඇස් වල කදුලු පුරවන් ඔපෙරාව නරබපු හැටි අදටත් සුන්දර මතකයක්. ස්වීඩන් චාරිකාවේ අමතකම නොවෙන සිදුවීම තමයි Nothern lights හෙවත් Aurora borealis දර්ශනය නැරබීමට හැකි වීම. එය අනපේක්ශිත සිදුවීමක්. Aurora දකින්නට කිසිම බලාපොරොත්තුවක් නොතිබු ගමනක, එරටින් පිටවී ඒමට පෙර දින රාත්‍රියේ හදිසියේම අහස පැහැදිලි වී, වලාකුලු අඩුවී, දරශනය වූ කොල පැහැති අලෝක ධාරා මට කවදාවත් අමතක නොවේවි. මේ සටහනේ චායාරූපය විදිහට මම ඒ දර්ශනය තෝරගන්නෙත් ඒ නිසාමයි. 


මේ අවුරුද්දේ ඉලක්කයක් නොවුනත්, සිදුවුනු තවත් වැදගත් දෙයක් තමයි මම හිටපු තනි කාමරයේ නවාතැනෙන් කාමර දෙකක නවාතැනකට මාරුවීම. ජර්මනියට ඇවිල්ල අවුරුද්දක් යනකොට මම විශ්ව විද්‍යාලයෙන් අයදුම් කරනවා කාමර දෙකක නවාතැනකට. පෙබරවාරි මාසේ වෙනකොට මට අයදුම් කරන ලද නවාතැන ලබා දෙන්න පුළුවන් කියලා විශ්ව විද්‍යාලයෙන් දන්නනවා. ඒ අනුව මට අප්‍රේල් පළවෙනිදා ඉඳලා කාමර දෙකක නවාතැනක් ලැබෙනව. ස්වීඩන් ගමනෙන් පසුව මාර්තු මාසේ අග සතිය සම්පූර්ණයෙන්ම වැය වෙන්නේ නවාතැන මාරු කරන්නට. නවාතැන් දෙක මීටර තුන්සියයක වගේ දුරකින් තිබුන නිසා, දවස් හයක විතර රෑ කාලය වැය කරලා සියලුම බඩු බාහිරාදිය තනිවම මාරු කරගන්නට මට පුලුවන් වෙනවා. ඒ අනුව අප්‍රේල් මාසය මම පටන් ගන්නේ අලුත් නවාතැනක.


මේ අවුරුද්දේ කෙරුණු තවත් වැදගත් දෙයක් තමයි ස්විට්සර්ලන්ත චාරිකාව. සංචාරයන් සම්බන්ධයෙන් කුඩා කාලයේ මගේ ජීවිතේ බලාපොරොත්තු තිබ්බෙ රටවල් දෙකක් ගැන පමනයි. එකක් ජපානය අනික ස්විට්සර්ලන්තය. ජපානයට යන බලාපොරොත්තුව 2017 වසරේදී මට ඉටු කර ගැනීමට ලැබෙනවා. ජර්මනියට ආපු දා ඉඳන් ඕනම වෙලාවකින් දුම්රියකින් හෝ බසයකින් ස්විට්සර්ලන්තයට යෑමට හැකියාව තිබුණත් මම හැමදාම මේ ගමන කල් දැම්මෙ දුවයි දිලුපයි ආපුවහම එකටම යනවා කියලා හිතාගෙන. නමුත් මගේ විශ්ව විද්‍යාලයීය මිතුරියක් වන ශිමාලි අක්කි මට ආරාධනා කරනවා පාස්කු නිවාඩුවට එයාගෙ ගෙදර එන්න අපි ස්විට්සර්ලන්තයේ Zürich නගරයේ ඇවිදින්න යමු කියලා. ඉතිං අප්‍රේල් මාසේ පාස්කු නිවාඩුව ගෙවෙන්නෙ හරිම සොඳුරු විදිහට ශිමාලි අක්කිගෙ ගෙදර දුවලා දෙදෙනා එක්කත්, Zürich නගරයේ චාරිකාවකිනුත්. ඒ වගේම ජර්මනිය තිබෙන ලස්සනම මාළිගාවක් වෙන Hohenzollen castle එකත් නැරබීමට අවස්තාව ලැබෙනවා. මගේ නිවාඩුව රසවත්ම ආහාරපාන වලින්, Zürich නගරයේ චාරිකාවකින්, Zürich විලේ බෝට්ටු සවාරියකින් සුන්දර කරාට ශිමාලි අක්කිටත් අයියටත් ගොඩක් ස්තූතිවන්ත වෙනව. 


ඊළඟට ආපහු ගෙදර ආපු මට තිබ්බේ ලොකු අභියෝගයක්. මගේ මාස්ටර් උපාධියේ පරීක්ෂණයට අදාළ පරීක්ෂණ කටයුතු කරලා දත්ත විශ්ලේශනය කරලා නිබන්දනය ලියන්න පටන් ගන්න එක. මේ කාලයෙ තමයි මම අර මගේ වොලට් එක නැති කරගෙන, සමුලුවක කතාවකුත් පවත්වලා, මගෙ උපන්දිනය දවසෙ බ්ලොග් එකකුත් පටන් ගත්තෙ. නමුත් ඊළඟ සති වල සිදු උනේ තවත් බලාපොරොත්තු නොවූ දේවල් කීපයක්. 


සමුලුවේ පවත්වපු කතාවෙන් පස්සේ මට පශ්චාත් උපාධිය සඳහා මහාචාර්යවරු දෙදෙනෙක් ආරාධනා කරනවා. ඒ වෙනකොට පශ්චාත් උපාධියක් ගැන මගේ හිතේ බලාපොරොත්තුවක් වත් කිසිම අදහසක්වත් තිබුණේ නැහැ. මගේ දැන් වයස එක්ක දිලූප කොහෙත්ම කැමැත්තක් තිබුනෙ නෑ මම පශ්චාත් උපාධියක් කරනවට. නමුත් මහාචාර්යවරු දෙදෙනෙක් ඔවුන්ගෙ පර්යේෂණ යෝජනා දෙකක් මට ඊමේල් කරනවා කියවලා බලන්න කියලා. එයින් එක පරීක්ෂණයක් ඉතාම සිත් ගන්නා සුළුයි. ලෝකයේ ප්‍රධාන ප්‍රශ්නයක් වන Microplastics සම්බන්ද පරීක්ෂණයක්. මේ තාක් පශ්චාත් උපාධියක් සම්බන්ධයෙන් ඇල්මැරුනු ස්වාභාවයක් පෙන්නපු දිලූපත් කියනවා ඒ පර්‍යේශනය හොද එකක් කියලා. ඉතින් ඔය අනුව මම ඒ පර්යේෂණය බාරගන්නට අදහස් කරනවා. ඒ අනුව මම ඒ පශ්චාත් උපාධියට අයදුම් කරලා, සම්මුක පරීක්ශනයට මුහුන දීලා තේරී පත්වෙනවා.  ඒ ගැන මට නිල වශයෙන් දැන්වීම එන්නෙ අගෝස්තු මාසෙ මුල සතියෙ. හැබැයි ඒ වෙද්දි මගේ මාස්ටර් උපාධියේ නිබන්ධනය ඉවර කරලා තිබ්බේ නැති නිසා මට තිබුණේ අභියෝගයක්. මම ඔක්තෝම්බර මස අවසාන වෙනකොට නිබන්ධනය ඉදිරිපත් කරලා සමත් වෙන්න ඕනි. ඒ නිසාමයි ජූලි මාසේ හා හා පුරා කියලා පටන් ගත්ත බ්ලොග් එකට එයින් පසුව කිසිම දෙයක් ලියන්නට බැරි වුණේ.

මට ඒ වෙනකොට මගේ පරයේශනයේ දත්ත විශ්ලේශය සදහා අවශ්‍ය සංඛ්‍යානය ගැන කිසිම දැනුමක් තිබුනෙ නෑ. මට මුල ඉදන්ම අමුතුවෙන්ම සංඛ්‍යානය ඉගෙන ගන්න සිද්ධ වෙනවා. මම මේ විශ්ව විද්‍යාලයේ පාඨමාලාවකුත් ලංකාවේ මගේ විශ්ව විද්‍යාලීය මිතුරෙක් වන චානක පවත්වන සංඛ්‍යාන පාඨමාලාවකුත් හදාරන්න ගන්නවා. මේ සියල්ල කරන්න සිද්ද වෙන්නෙ රැකියා දෙක, පර්‍යේශනය, නිබන්දනය ලිවීම ඔක්කොම අතරතුර. නමුත් ඒ පාඨමාලා දෙකම හදාරලත් මට අවශ්‍ය දැනුම ලබාගන්න තරම් එහි පැවරුම් වල යෙදෙන්න කාලය මදි වෙනවා.මේ නිසාම මම සැපැත්ම්බර් මාසයේ එක රැකියාවකින් සමුගන්නවා. එතනදි මගෙ මාසික ආදායම අඩු උනත්, රැකියා දෙකක් සමග නිබන්දනය සම්පූර්න කිරීම ලොකු අභියෝගයක් නිසා මට ඒ තීරනය ගන්නට සිදු වෙනවා. 


ඉතින් ඔය විදිහට ඔක්තෝබර් මාසේ අග වෙනකොට මම මාස්‍ටර් උපාදියේ අවසාන අභියෝගය වන නිබන්ධනය ඉදිරිපත් කරනවා. මගේ පර්‍යේශනයෙ අනුශාශකවරු උනු ඇමරිකානු ආචාර්යවරයාට සහ ජර්මාණු මහාචාර්යවරියට මගෙ හිතේ තියෙන්නෙ පුදුමාකාර ගෞරවයක් සහ ස්තූතියක්. පශ්චාත් උපාධියකට මා තේරුනාට පසුව, ඔවුන් දෙදෙනා මගේ මාස්ටර් උපාධියේ නිබන්දනය අවසන්කර, මා සමත් කරන බවට සහතික කර, අදාල ලියවිලි සම්පූර්න කිරීමට දක්වපු සහයෝගය මගේ ජීවිතයේ මට කිසිදාක අමතක නොවේවි. ඒ වගේම නිබන්දනය ලිවීමේදී දත්ත විශ්ලේශයේදී මට උදව් උනු මගේ මිතුරු චානකටත් ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා. 


ඊලගට එන්නෙ පශ්චාත් උපාදිය සමග එන රැකියාවට අදාල අයදුම්පත් පිරවීමෙ අභියෝගය. දෙපාර්තමේන්තුවෙ ලේකම්තුමිය කොල තිස් ගානක් තිබෙන ෆයිල් කවරයක් මගෙ අතේ තියන්නෙ හිමීට පුරවලා දෙන්න කියලා. මේ සියල්ල තියෙන්නෙ ජර්මානු භාශාවෙන්. ඉන්ග්‍රීසි පරිවර්තනය අන්තර්ජාලයේ තිබුනත් එය තනිවම කරගැනීම අභියෝගයක්. මෙතනදි මට මගෙ තවත් ජර්මානු මිතුරියක් වෙන සිල්කේ උදව්වට පැමිනෙනවා. ඇය මේ නගරයේ සිටින ශ්‍රී ලාංකික මිතුරෙකු වන උපේක්ශ අය්යගෙ බිරිද. ඇය මා පිරවූ අයදුම් පත් සියල්ල එකින් එක පරීකශා කර අඩු පාඩු නිවැරදි කර දෙනවා. ඒ වගේම රැකියාව පටන් ගත් පසු නව රක්ශාවරනයක් ලබාගැනීමේදී මා වෙනුවෙන් වේලාවක් වෙන් කර,මාත් සමග රක්ශනායතයට පැමින ඒ කටයුතු පහසුවෙන් කරගැනීමට ඇය මට උදව් කරනවා. සිල්කේට ගොඩක් ස්තූතියි.


ඔක්තෝබර් මස අවසාන දවසේදි, ජර්මානු මහාචාර්වරයෙක් යටතේ, පශ්චාත් උපාධියක් සිදු කිරීමට කොන්ත්‍රාත්තුව අත්සන් කරන මම නොවැම්බර් පළවෙනිදා ඉඳන් පශ්චාත් උපාධියේ වැඩ කටයුතු පටන් ගන්නවා. ජර්මනියේ පශ්චාත් උපාධියක් කියන්නෙ රැකියාවක්. රැකියා වීසා බලපත්‍රයක් සමග මාසෙකට වේතනයක් ලැබෙනවා. ඉතින් දැන් ඔන්න මටත් රැකියාවක් තියෙනවා. මේ රැකියාව අවසානයේදි නමේ මුලට දාගන්න ආමන්ත්‍රනයකුත් හම්බෙනවා. ඒකත් නරක නෑ.


නොවැම්බර් සහ දෙසැම්බර් මාසය ගෙවිලා යන්නේ අලුත් විදිහකට. ලොකුවට කාර්යබහුල වන කාලයකුත් නෙමෙයි. නමුත් මගේ නවතම පර්යේෂණයේ මූලික දේවල් කියවන්න, නොදන්න දේවල් ඉගෙන ගන්න, තවත් සමුලු කීපයකට සහභාගී වෙන්න, පාටමාලා හදාරන්න පටන් ගත්ත කාලයක්. නොවැම්බර් මාසයේදී සිදු උනු වැදගත්ම දෙයක් තමයි Mainz නගරයේ Max Planck ව්ද්‍යායතනයට යෑම. එහි මාස්ටර් උපාධියෙ පර්‍යේශන කටයුතු හදාරන මගේ හොදම මිතුරියගේ පරීක්ෂණයකට සහභාගි වෙන්න තමයි මම එහි යන්නෙ. ඒ ගමනෙදි මම Frankfurt නගරය හරහා යනවා. ජර්මනියට ආපු දවසේ Frankfurt ගුවන් තොටුපලට තමයි මම ගොඩ බහින්නේ. ඉතින් අවුරුදු දෙකකට පස්සේ මාස්ටර් උපාධිය සම්පූර්ණ කරලා පශචාත් උපාධියක් පටන් අරගෙන, ආපහු ඒ නගරය හරහා යන එක මට හරිම විශේෂ අත්දැකීමක් වුණා. රටේ භාශාව වත් නොදැන ඉස්සෙල්ලාම පය තබපු නගරය හරහා මම දෙවෙනි වතාවට යන විට, ජීවිතයේ බොහෝ දේ වෙනස් වෙලා.

මැක්ස් ප්ලාන්ක් විද්‍යායතනය ඇතුළට ගිහිල්ලා ඒ පර්යේෂණ වලට සහභාගි වෙලා ඒවා දැකබලාගෙන ඒමට ලැබීමත් මට ලැබුනු ලොකු අත්දැකීමක්. ඒ වගේම සමාජ අද්‍යනය විශයයෙදි හත හෝ අට වසරෙදි ඉගෙන ගත්ත රයින් නදිය අසලට යෑමත් තවත් මතක සටහනක්. මීට කලින් රයින් නදිය උඩින් යන පාලම් උඩින් වාහන වලින් ගමන් කර තිබුනත්, නදිය අසලට ගිහින් සුන්දරත්වය විදපු පලමු අත්දැකීම එය. Mainz නගරයේ තිබෙන Gutenberg Museum දැක බලාගැනීමත් විශේශ අත්දැකීමක්. Johannes Gutenberg යනු යුරෝපයට මුද්‍රනශිල්පය හදුන්වාදුන් කීර්තිමත් විද්‍යාර්තියෙක්. ඔහු සොයාගත් මුද්‍රන යන්ත්‍රය මේ කෞතුකාගාරයේ තිබෙනවා වගේම එදා ඔහු මුද්‍රනය සිදු කරපු හැටි විස්තර කරලා,ඒ ක්‍රමයට කඩදාසියක් මුද්‍රනය කර පෙන්වීමත් මෙහිදී සිදු කරනවා.


දෙසැම්බර මාසය වනවිට තවත් ලොකු අභියෝගයක් එනවා.ඒ ලබන අවුරුද්දෙ ඉදන් ජීවත් වීමට නිවසක් හොයාගැනීම. මගෙ මාස්ටර් උපාදිය අවසාන නිසා මගෙ ශිශ්‍යභාවය අවසාන වෙනවා තව සුලු කාලෙකින්. ඉන් පසුව මට විශ්ව විද්‍යාලයීය නිවාස වල සිටින්නට අවසරයක් නැහැ. මේ වෙලාවෙ මගෙ උදව්වට එන්නෙ මගෙ පාසල් මිතුරියක් වන වෙරා. ඇයට මම දුරකතන ඇමතුනක් ගන්නෙ මගෙ පලමු වේතනය ලැබුනු පසු අවන්හලක රාත්‍රී කෑමකට ආරාදනා කරන්න.ඒ වෙලාවේදී නිවාස සෙවීම් පිලිබදව මම ඇයට පවසනව. ඇයගෙ උදව්වෙන් මට අලුත් නිවසක් සොයාගැනීමට ලැබෙනවා ඉතාම පහසුවෙන් නොහිතූ විදිහට. අසීරු ගැටලුවක් ඉතාම පහසුවෙන් විසද ගැනීමට උදව් කරපු වෙරාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. 

මේ සාර්තක අවුරුද්ද මම පටන් ගත්තෙ මියුනික් නගරයේ මගේ මිතුරිය වින්දිගෙ නිවසේ ඉදලා. 2022 දෙසැම්බර් 31 රෑ තනියම ඉන්න එපා සුලා අපේ ගෙදර එන්න කියලා මට වින්දි කියන්නෙ ඒ අවුරුද්දෙ ඔක්තෝබර වල වගේ ඉදන්. දෙසැම්බර් 31 දා රාත්‍රියේ මියුනික් නගරයේ අවන්හලක රාත්‍රී කෑමකින් වින්දිටයි මටයි සංග්‍රහ කරන්නෙ වින්දිගෙ මාමා වන ශිරෝන් අංකල්. අවුරුද්ද පටන් ගද්දිම වින්දිගෙ ගෙදර ඉස්සරහ මල් වෙඩි සංදර්ශන බල බල හිටි මම ගාවට දුවන් ඇවිත් සුභ අලුත් අවුරුද්දක් සුලා කියලා මට මුලින්ම සුභ පැතුවෙ වින්දි. ජනවාරි පලමුදා ශිරෝන් අන්කල්ගෙ මූලිකත්වයෙන් පැවැත්වූ දානමය පිංකමට සහභාගි වෙන්නටත් මට අවස්තාව ලැබෙනවා. මේ අවුරුද්ද පුරාවටම එයාලව බලන්න යන්න බැරි උනත් සැරින් සැරේ කතා කරලා කෑවද බීවද සනීපෙන්ද කියලා හොයල බලන්නෙත් වින්දි. වින්දිටත් ශිරෝන් අංකල්ටත් ගොඩක් ස්තූතියි ඒ හැමදේටම.

ජීවිතයේ සිදූඋනු අත්දැකීම් සටහන් කර තැබීමට සුලාගෙ විත්ති කියලා ෆේස්බුක් පිටුවක් පටන් ගන්නට මට හදිස්සියේම හිතක් පහල උනෙත් මේ 2023 අවුරුද්දෙ. ඒක දැකල බ්ලොග් එකක් ලියමු නංගි කියලා මම නොදන්න බ්ලොග් කලාවට මාව යොමු කලේ මගෙ මිතුරියක් වන චිරන්තිකා අක්කිගෙ මංජුල අය්යා. පටන් ගත්ත ගැම්මට ඒ උනුසුමට ලියාගන්න බැරි උනාට ඉදිරියට ලිවීම දිගටම කරන්න හිතන් ඉන්නවා ජීවිත අත්දැකීම් වගේම මගේ විද්‍යාත්මක පර්‍යේශන ගැනත්. ලිවීමට වෙලාව හොයාගන්න අමාරු උනාට ලියන එක මාර ජොලි වැඩක්. ඉතින් නොදන්න ඉසව්වක් පෙන්වා දුන්නට මංජුල අය්යටත් ගොඩක් ස්තූතියි. 

මම 2023 මට සිදුවුණු වැදගත්ම සිදුවීම් ටික මෙහෙම සටහන් කරාට, ඔය අතරතුරේ ඔරු පදින, කදු නගින, පර්‍යේශන ආයතනයේ සියල්ලන්ටම කොත්තු හදන, අශ්වයන්ට සාත්තු කිරීමට යෑම, christmas markets වල ඇවිදින්නට යාම වගේ වැඩත් කෙරෙනවා. දියනියත් අවුරුද්දකින් වැඩිලා පෙර පාසල් ගමන සාර්තකව අවසන් කරනවා. දියනියගෙ වැඩටික මම ඉන්නවටත් වඩා හොදට කරන දිලූප අය්යටත් ගොඩක් ස්තූතියි. 

මගේ අවුරුදු හතළිස් එකක ජීවිතයේ වැදගත්ම අවුරුදු තුනයි මට තිබුනේ. එක මගේ විවාහය සිදුවුනු අවුරුද්ද, ඒ විවාහයත් එක්ක ජීවත් වෙන රට වෙනස් උනු නිසා. දෙක දුව ඉපදුන අවුරුද්ද, ඒ දුවගෙ පැමිනීමත් එක්ක ජීවිතයම වෙනස් උනු නිසා. තුන නැගනිය විවාහ වූ අවුරුද්ද, ඒ ජීවිතයේ ඒ වෙනකොට තිබූ ලොකු වගකීමකින් නිදහස් වූ නිසා. ආපහු හැරිලා බලද්දි මේ 2023 අවුරුද්දත් අමතක නොවන වැදගත්ම අවුරුද්දක් කියලා මට දැනෙනවා. වයස තිස් නවයෙදි යුරෝපයේ ප්‍රධාන රටකට ජාත්‍යන්තර ශිශ්‍යයෙක් විදිහට ඇවිල්ලා, ඒ උපාධිය නියමිත කාලයටම අවසාන කරමින් පශ්චාත් උපාධියකුත් පටන් ගත්ත මේ අවුරුද්ද පුදුම අවුරුද්දක්.රැකියා දෙකක් කරන ගමන් නිබන්දනයක් ලියලා, ගෙවල් මාරු කරලා, රටවල් දෙකක වගේම ජර්මනියේ නගර කීපයකත් සංචාරය කරලා,යාලුවන් සමගත් විනෝදත් වෙලා ගෙවපු මේ අවුරුද්ද පුදුම අවුරුද්දක්. මෙච්චර වැඩ ගොඩක් මම කොහොමද කරේ කියලා මටම හිතෙනවා. හැබැයි මේ සියල්ල මම කලේ තනිවම නෙමේ. ජර්මනියෙදි මට මුන ගැහුනෙම පුදුමාකාර හදවත් තියෙන සුන්දර මිනිස්සු. ඒ හැමෝම මට උදව් කරා මේ ගමනෙදි. මේ අවුරුද්ද සාර්ථක කරගන්න උදව් කරපු, ශක්තියක් වුන ඒ හැමෝටම ස්තූතිවන්ත වෙනවා. 

මින් ඉදිරියට පුලු පුලුවන් වෙලාවට මගේ විත්ති දිගටම ලියන්නත් බලාපොරොත්තු වෙනවා😁

3 comments:

  1. නියමයි. //Mainz නගරයේ Max Planck ව්ද්‍යායතනයට යෑම. එහි මාස්ටර් උපාධියෙ පර්‍යේශන කටයුතු හදාරන මගේ හොදම මිතුරියගේ පරීක්ෂණයකට සහභාගි වෙන්න තමයි මම එහි යන්නෙ// මේකා කාලයක් මගේ තිබිච්ච හීනයක්. නමුත් අවස්ථාව ලැබුනේ නැහැ. මගේ තාරක විද්‍යව පිලිබඳ උපාධිය කරලා දැන් අවුරුදු 10 ගත වෙලා නිසා සැබෑ නොවෙන හීනයක් ඒක . එනිසා සතුටුයි ඒකෙ උපාධියක් කරන පර්යේෂණ කරන කෙනෙක් (ඔයාගේ යාලුව) ඉන්නව කියල දැන ගන්න එකත්.

    ReplyDelete
  2. ඔයා ඉන්නේ මියුනික් ද. මම දෙතුන් පාරක් ගිහින් තියනව. මගේ බිරිඳ ගාමිෂ් නගරයේ වැඩ කරලා තියනවා. අපි නිතර කොබර්ග් නගරයට යනවා බිරිඳගේ දෙමාපියන් ගේ ගෙදර

    ReplyDelete

ස්තූතියි 2023❤️

 ස්තූතියි 2023 ❤️ එක පාරටම බ්ලොග් එකක් පටන් ගත්තට මොකද ඒක ලත් තැනම ලොප් උනා වගේ එතනම නැවතුනා. ඒකට හේතුව වුණේ මම මේ රටට ආපු හේතුව උනු මාස්ටර්...