Single parenting
තනිකඩ අම්මා/ තාත්තා
මේ ලෝකෙ දරුවන් සමග තනිවම ජීවත්වන අම්මලා තාත්තලා ගැන මට පුදුමාකාර ගෞරවයක් ඇති උනා මේ කාලයේ. ඒක මීට කලින් කවදාවත් ඇතිවෙලා තිබ්බෙ නැති හැඟීමක්.
කාලෙකින් නොලිව්වත් මේ ටික ලියල තියන්නම අද පිටුවට ආවා.
දිලූප මේ ටිකේ ඉන්නේ ලංකාවේ. නොවැම්බර් ඉඳන් ජනවාරි මැද වෙනකම් දරුවාගේ වැඩ ටිකත් කරගෙන රැකියාවත් කරගෙන ඉන්න මට සිද්ධ වෙලා තියෙනවා.
දරුවාව ඉස්කෝලෙට දාන්නෙ ගන්නෙ, කඩේ යන්නෙ, කෑම උයන්නෙ, රෙදි හෝදන්නෙ, නවන්නෙ, ගෙවල් අස් කරන්නෙ,අතුගාන්නෙ ඔක්කොම කරන්නෙ මම. මේ ඔක්කොම කරන්නෙ රැකියාවත් කරන ගමන්. දෙසැම්බර් නත්තල් මාසය කියන්නේ ජර්මනිය අතිශයින්ම කාර්යබහුල මාසය. රැකියාවේ මිතුරන් සමග මෙන්ම පෞද්ගලික ජීවිතයේ මිතුරන් සමග ගමන් බිමන් සාදවලට සහභාගි වීම් ඉවරයක් නෑ. ඒ වගේමයි දරුවාගේ මිතුරු හමුවීමුත්.
මේ ගැන දිලූප සමග කියූ විට ඔහු මහ හඩින් සිනාසී කිව්වෙ "ආහ් මාත් ඔහොම හිටියා, තේරෙනවා නේද දැන්" කියලා. ඔව් හොදටම තේරෙනවා, නමුත් ඔහුට උදව්වට හමුදාවක්ම හිටියා, උයන්නට කෙනෙක්, වත්ත සුද්ද කරන්න කෙනෙක් හිටියා. නමුත් මට කවුරුත්ම නැහැ. වෙනස ඒකයි.
මේ නිසාම මේ තනි ජීවන අරගලය තමන්ගේ ජීවිතයේ දීර්ඝ කාලයක් දරුවන් ලොකු මහත් වන තුරුම සිදු කරන කොතරම් තනි මව්වරුන් පියවරුන් මේ ලෝකේ ඇතිද කියලා මට කල්පනා වෙනවා.ඒ තනි මව්වරුන්ගේ පියවරුන්ගේ ශක්තිය ගැන පුදුමාකාර ගෞරවයක් මට ඇතිවෙනවා. ඔවුන්ට තමන්ගේ ජීවන ගමනට අවශ්‍ය ශක්තිය හා මානසික සුවය 2026 වසරෙත් නොඅඩුවම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා !

No comments:
Post a Comment