Monday, July 24, 2023

 



ටෝක් එකයි, වොලට් එකයි, ජූලි හතයි 👛

සුලාගෙ විත්ති පටන් ගන්නේ මොන කතාවෙන් ද කියලා කල්පනා කරනකොට ඇත්තටම මෙහෙම කතා පෙලක් ලියන්න හිතුනු ආසන්නතම සිදුවීමෙන්ම පටන් ගන්නවා කියලා හිතුනා.
ගිය සතියේ මගේ ජර්මනියේ ජීවිතයේ වැදගත් සිදුවීමක් සිද්ද වුණා. සිදුවීමක් කිව්වට එකක් නෙමේ, එකකට එකක් ගැලපෙන්න ඇති කිසිම සම්බන්ධයක් නැති සිදුවීම් කීපයක් හොදටම ගැලපිලා සිදුවෙලා වෙච්ච පාඩුවක් ගැන තමයි මේ කියන්න හදන්නේ.
මම ජර්මනියේ masters උපාධිය හදාරනවා පාරිසරික රසායන විද්යාවෙන්. දැන් මේ යන්නෙ උපාධියේ අවසාන අදියරය වන පර්යේෂණය. Masters උපාධියකට පර්යේෂණයක් කරපු ඕනම කෙනෙක් දන්නවා පර්යේශනයේ යම් අවස්තාවකදි පර්යේෂණ යෝජනාව හෝ පර්යේෂණ ප්රතිඵල සමග අවසාන නිගමන හෝ දේශනයකින් පර්යේශන කණ්ඩායමකට අපි ඉදිරිපත් කරන්න ඕනේ කියලා. මගේ පරීක්ෂණය තාම අවසාන නැහැ, නමුත් මගේ මහාචාර්යවරිය තීරණය කරනවා ජූලි 7 වෙනිදා තියෙන පාංශු රසායන විද්යා දින සමුළුවේදී මාස්ටර් උපාධි අපේක්ෂිකාවක් වශයෙන් මගේ පර්යේෂණයේ දැනට තියෙන පතිඵල ඉදිරිපත් කරන එක හොඳයි කියලා. මේ සමුළුවට දේශන ඉදිරිපත් කරේ මහාචාර්යවරුන්, පශ්චාත් උපාධී යෙන් පසු පර්යේෂණ වල නියැලෙන ආචාර්ය උපාදිය හිමි පර්යේශකයන් සහ පශ්චාත් උපාධි හදාරන්නන්.මම විතරයි masters උපාධි අපේක්ෂිකාවක් වශයෙන් සමුළුවේ දේශනයක් පැවැත්වුවේ. මම මේ සමුළුවේ දී මගේ කතාව ඉදිරිපත් කරන්නෙ නැති වුනොත් ආයේ මට ඉදිරිපත් කරන්න වෙන්නේ නොවැම්බර් මස තියන සමුළුවකදී. ඉතින් මම කැමති වෙනවා මේ බුද්දිමතුන්ගෙ කතා ගොඩේ මගේ පුන්චි කතාවත් පවත්වන්න. ඇය මට මෙය දන්වන්නේ ජූනි මාසයේ අන්තිම සතියේ. සමුළුව තියෙන්නෙ ජූලි 7 වෙනිදා. ඉතින් මම ඒ සති දෙකේ මගේ මේ කතාවට අදාළ තවත් අවශ්ය පර්යේෂණ කටයුතු ඉවර කරලා powerpoint presentation එක හදලා කතාවට ලෑස්ති වෙන්න සෑහෙන්න කාලය ශ්රමය වැය කරනවා. මේ ඔක්කොම කරන්නෙ මම වෙනත් පර්යේෂණයක පර්යේෂණ සහායිකාවක් වශයෙන් අමතරව රැකියාවකුත් කරන ගමන්. ඉතිං වැඩ ගොඩක් නිසා මං ඒ කාලසීමාව ඇත්තටම ගත කරන්නේ හරි කලබලකාරී බවකින්, stressful බවකින් කිව්වොත් හරි.
ජූලි මාසේ පස්වෙනිදා වෙනකොට මගේ කතාව සහ powerpoint presentation එක ඔක්කොම ලෑස්තියි. ජූලි 6 වැනිදා දිනය මම ඉතුරු කරගන්නවා තව ටිකක් පුහුණු වෙන්න. නමුත් හදිසියේම මට 5 දා රෑ හිතෙනවා තව එක දත්තයක් මේ කතාවට තිබ්බනම් හොදයි කියලා. මං එදා රෑම යාලුවෙකුට මසේජ් කරනවා හෙට දවස තුළ එයා පර්යේෂණායතනයේ ඉන්නවනම් මට ලැබ් එකේ computer එකෙන් ඒ දත්තය අරගෙන ඊමේල් කරනවද කියලා අහලා. එයා කියනවා අවාසනාවකට එයා පහුවදා වෙන වැඩක් තියෙන නිසා ලැබ් එකට යන්නෙ නෑ කියලා. මන් තීරණය කරනවා පහුවදා පොඩි වෙලාවකට ලැබ් එකට ගිහිල්ලා මේ දත්ත අරගෙන එනවා කියලා. 6 දා හවස දෙක හමාරට විතර මම ලැබ් එකට යනවා. මට ඒක ජුලි 7 උදේ අරන් ppt එකට ඇතුල් කරගන්නත් තිබුණා. නමුත් වැඩි හොඳට තමයි මම කලින්දා යන්නෙ. ඉතින් පර්යේශනායතයට ගිහින්, මගෙ බෑගයෙන් වොලට් එක අරන්, ඒකෙ ඇතුලෙ තිබ්බ usb drive එක ගන්න මම ලැබ් එකට ගිහිල්ලා මට අවශ්ය දත්තය අරන්, usb drive එක ආපහු කලිසම් සාක්කුවේ දාගෙන, බෑග් එක අරන් කරේ දාගෙන ඉක්මනින් ආපහු එනවා බස් එකට. බස් එකට නගින්න ඔන්න මෙන්න තියෙන කොට මම බෑග් එක අතට ගන්නවා, එතකොට මං දකිනවා බෑග් එක ඇරිලා තියෙන්නෙ කියලා. මං ඒත් එක්කම අත දාලා බලනවා මගේ වොලට් එක තියෙනවද කියලා. මොකද මම usb එකගත්තට පස්සෙ බෑග් එකේ උඩම තිබ්බේ වොලට් එක.මං හිතුව වගේම වොලට් එක නැහැ. ඒක වැටිලා. මං ආපහු දුවගෙන යනවා පර්යේෂණාගාරයට. හැමතැනම බැලුවත් කොහෙවත් වොලට් එක නැහැ. මට වොලට් දෙකක් තියෙනව. මම දෙකක් පාවිච්චි කරන්නේ වැඩි පරිස්සමට. එකක් අළු පාට ලොකු එකක්, ඒකෙ තමයි මගේ ජර්මනියේ resident permit එක, bank cards, Bahn card එක, usb drives, card readers, sim cards ඔක්කොම තියෙන්නෙ. 1993 අවුරුද්දෙ ඉදන් මේ වෙනකම්, අවුරුදු 30 ක් මම තියන් ඉන්න සන්කේතයකුත් ඒකෙ තියනවා. වොලට් එක මාරු කරන හැම වාරෙකම මම ඒ සන්කේතය අලුත් වොලට් එකට දාගන්නවා. මගෙ දෙවෙනි වොලට් එක කලු පාට පුන්චි එකක්.ඒකෙ තියෙන්නෙ සල්ලි ටිකක්. සාමාන්යයෙන් යුරෝ දහයක් පහළවක් කොළ හා කාසි වලින් ඒකෙ තියනවා. මං එහෙම තියාගෙන ඉන්නේ නිතර අතට ගන්නෙ සල්ලි තියෙන වොලට් එක නිසා අර cards තියෙන එක පරිස්සම් වෙන්න. යූරෝ සියයකට අඩු මුදලක් තියෙන bank account එකක bank card එකක් මම බෑග් එකේ වෙනම දාගෙන ඉන්නවා. නිතර ගෙවීම් කරන්නෙ ඒකෙන්.ඉතින් අර වොලට් එක අතට ගැනෙන්නේ ම නැති තරම් නිසා ඒක බෑග් එක ඇතුලේ තමයි තියෙන්නේ. නමුත් එදා මම ඒකෙ තිබ්බ usb drive එක ගත්ත නිසා වොලට් එක බෑග් එකේ උඩටම එනව මදිවට ඒක නැතිත් වෙනවා.
මට එදා ඔලුවෙ තිබ්බෙම පහුවදා සමුලුවෙ තියෙන මගේ කතාව. කොරේ පිටට මරේ වගේ ජූලි 6දා හවස තුනේ ඉදන් මට වෙන්නෙ වොලට් එක හොයන්නයි පොලිසි යන්නයි. මං අඩන්න පටන් ගන්නවා. සිද්දිය දැනගන්න ප්රදාන මහාචාර්යතුමියත් ඇවිත් මාව සනසනවා. ඇය අහනවා මම ඉදිරිපත් කරන powerpoint presentation එක බලන්න පුළුවන්ද කියලා. මං ඒක පෙන්නපුවාම එයා කියනවා "ඔයාගේ කතාව හොඳටම හොඳයි, මං ගොඩක් කැමතියි, ඔයා බයවෙන්න එපා, ඔය හොඳටම ඇති,ආයෙ දත්ත එකතු කරන්න අව්ශ්ය නෑ, දැන් ගෙදර ගිහින් rest කරලා හෙට එන්න" කියලා. ඇය කියනවා වොලට් එක හම්බෙයි, ඒක ගැන හිතන් නැතිව හෙට කතාව කරන්න කියලා.
( සාමාන්යයෙන් ජර්මනියේ දෙයක් නැති උනාම ආයෙ හම්බෙනවා ගොඩක් වෙලාවට. මෙහෙ තියෙනවා fündburo කියලා කාර්යාල. කාගෙ හරි දෙයක් අහුලපු කෙනෙක් සාමාන්යයෙන් ඒ fündburo එකකට ගිහින් බාරදෙනවා. එතකොට ඒ කාර්යාල වලින් ඒ භාන්ඩයේ තියෙන දත්ත අනුව එක්කො ලියුමක් එවනවා, නැත්නම් call හෝ email කරනවා.අයිතිකාරයගෙ මුකුත්ම දත්තයක් ඒ අදාල භාන්ඩයේ නැත්නම් අයිතිකාරයෙක් එනකම් ඒවා තියලා තියෙනවා යම් කාලසීමාවක්. අයිතිකරුට තියෙන්නෙ ඒ තැන් වලට ගිහින් බලන එක.) මේ සිද්දියෙදි මට හැමෝම කියනවා වොලට් එක ආපහු ලැබෙයි, හැබැයි සල්ලි තිබ්බනං එක ගැන බලාපොරොත්තු තියාගන්න එපා කියලා.
මේ අතර ජර්මන් යාලුවෙක් මගෙ බැන්කු වලට ඉක්මනට කෝල් කරලා බැන්කු කාඩ්ස් තුනම බ්ලොක් කරනවා. එයා මාව එක්ක යනවා පොලිසියට.ඒ මම ජර්මනියේ පොලිසියට යන පලවෙනි වතාව. මම ඉන්න නගරයේ පොලිස් ස්තානය ඉස්සෙල්ලම දකින්නෙත් එදා. අපි පොලිසියේ පැමිණිල්ලක් දානවා මගේ වොලට් නැතිවුණා එකෙ recident permit එක, bank cards තිබ්බා කියලා. පොලිසියටත් පුලුවන් bank cards block කරන්න. ඒ නිලදාරියත් bank cards ටික block කරනවා. ඊට පස්සෙ පොලිසියේ නිලදාරියා අහනවා සල්ලි කීයක් තිබ්බද කියලා ඔන්න එතකොට තමයි මට හොදටම උතුර දකුන මාරු වෙන්නෙ.
මගෙ නැතිඋනු වොලට් එකේ යූරෝ 205 ක් තියෙනවා. එහෙම ගානක් තියෙන බව මම දැනගන්නෙත් ජූලි 3 දා. දැනගෙන දවස් තුනෙන් තමයි ඒක නැතිත් වෙන්නෙ 🙆දැන් මේක කියවන ඔයාලා හිතයි ඒ මොන හතරබීරි කතාවක්ද ඒ කියලා.ඒක උනේ මෙහෙමයි.
මම යාලුවොත් එක්ක ස්වීඩනයට trip එකක් යනවා මාර්තු මාසෙ. ඒ යන්න කලින් airport එකේ ATM එකකින් මම යූරෝ දෙසීයක් ගන්නවා හදිස්සියකට ඕනි උනොත් කියලා. ස්වීඩනයේ ස්ටොක්හෝම් කියන්නෙ සල්ලි භාවිතා වෙන්නෙම නැති cards වලින් පමනක් ගනුදෙනු කෙරෙන නගරයක්. මම ඒක දැනගෙනත් හිටියා සල්ලි ගද්දි, නමුත් මම ඒ සල්ලි ගන්නෙ වැඩි හොදට. කොහොම උනත් ඒ සල්ලි වියදම් වෙන්නෙ නැතිවම වොලට් එකේ ඉතිරි වෙනවා. ආපහු ආවම මටත් ඒක අමතක වෙලා යනවා. ඔහොම මාස හතරක්ම ඒ යූරෝ දෙසීය තිබිලා ජූලි 3 දා මම ඒක අහම්බෙන් දකිනවා. මම හස්බන්ඩ්ටත් කියනවා මම යූරෝ දෙසීයකින් පෝසත් උනා කියලා, මගෙම සල්ලි උනාට මගෙ ගනන් හිලව් වල තිබ්බෙ නැති සල්ලියක් ඒ. එහෙම අමතක උනත් පරිස්සමට මාස හතරක්ම මගෙ වොලට් එකේ හැන්ගිලා හිටපු යූරෝ දෙසීය, මට පෙනිලා දවස් තුනෙන් මාව දාල යනවා🤷
ඉතින් කොහොමහරි පොලිස් පමිනිල්ල සටහන් කර ගෙන කොල හතර පහකටම පොලිස් නිලධාරියා මගේ අත්සන් ගන්නවා, ඒවයෙ තියෙන්නෙ මගේ නැති වුනු බඩු වල විස්තර, සල්ලි ප්රමානය, නැති උනු තැන දවස වෙලාව වගේ දේවල්. නිලදාරියා කියනවා ආපහු වොලට් එක හම්බුනොත් මං ඇවිල්ලා පොලිසියට දැනුම් දෙන්න ඕන කියලා. මගෙ resident permit එක නැතිවුණා කියලා හැම පොලිස්ථානයකට ම දැනුම් දෙන නිසා ඒක ආයෙ මටම හම්බුනොත් ඒ ලැබුන බව ඒගොල්ලන්ට වාර්තා කිරීම අනිවාර්යයි කියලා නිලදාරියා පැහැදිලි කරනවා.
පොලිසියෙන් පස්සේ මගේ යාළුවො මාව ගෙදර ගෙනල්ලා බස්සනවා, එතකොට රෑ 8 ට විතර ඇති වෙලාව. රෑ 11 විතර වෙනකම් මම කරන්නේ කල්පනා කර කර ඉන්න එක. ඇයි මේ තරම් හැමදේම පරිස්සමට කරපු මට මේක අදම නැති වුනේ කියල මට දිගින් දිගටම හිතෙනවා. ඉතින් ඔහොම ඔහොම ඉඳල අන්තිමට රෑ 12 ට විතර මම පැයක් විතර නානවා හිතෙ අමාරුවයි ඇගේ වෙහෙසයි ඔක්කොම යන්න. එකම එක පාරක් මගේ කතාවට පොඩ්ඩක් සුදානම් වන මම ඊට පස්සේ නිදා ගන්නවා.
පහුවදා උදේම මම සමුළුවට යනවා. මගේ කතාව තියෙන්නේ උදේ 10.45 ට. සියලුම දේ අමතක කරලා මම මගේ කතාව ඉදිරිපත් කරනවා. මගේ කතාවට ගොඩක් අය ප්රශංසා කරනවා. ප්රදාන මහාචාර්ය තුමිය හුඟාක් ප්රසාදයෙන් කතා කරනවා. මගේ පර්යේෂණය ගැන ඇයට තියෙන ඉදිරි බලාපොරොත්තු ඇය මට එදා හවස කියනවා. එක තවත් සතුටු දායක පුවතක්. ඒ ගැන පසුව ලියන්නම්. එදා දවස සමුලුවේ විවිධ දේශන අසමින් පෝස්ටර් නරඹමින් ගත වෙනවා. හවස BBQ එකක් තියෙනවා, ඒකටත් සහභාගි වෙලා මම කාලා බීලා ගෙදර එනවා.
ජුලි හත කියන්නේ සිකුරාදා දවසක්. සාමාන්යයෙන් ජර්මනියෙ සතිඅන්ත වල ඔක්කොම කාර්යාල වහලා. මම ඉවසිල්ලක් නැතුව ඉන්නේ සඳුදා වෙනකන්. එහෙම ඉවසිල්ලක් නැතුව ඉන්නෙ අර fündburo (lost and found places) වලට යන්න. මම සදුදා උදේම එක කාර්යාලයකට යනවා.එතන වොලට්ස් හතක් තියෙනවා. නමුත් ඒ අතර මගේ එක නැහැ. එයාලා කියනවා නැති උනේ බ්රහස්පතින්ද හවස නිසා සති දෙකක් විතර බලන්න කියලා. ඉතින් මං තවදුරටත් ඒවයෙ හොයන්න කාලය ගත කරන්නෙ නැතුව රැකියාවට යනවා. සදුදා කියන්නේ ජූලි 10වෙනිදා මගේ විවාහ සංවත්සරය. හිතේ තිබුනු කලබලකාරී, පීඩාකාරී බව නිසාම මට විවහ සංවත්සරය අමතක වෙනවා.හස්බන්ඩ් තමයි ටිකක් දවල් වෙලා මට ඒක මතක් කරන්නේ. ඊට පස්සේ මම එදා රැකියාවට ගිහිල්ලා ඇවිල්ලා හවස් වරුව විවාහ උත්සවයේ ඡායාරූප, වීඩියෝ නරඹමින් කාලය ගත කරනවා.
අඟහරුවාදා මගේ යාලුවෙක් කතා කරනවා මට නගරයේ තියෙන Summer concert එක බලන්න යන්න. දැන් ඔයාලා හිතනවා ඇති මම හරි සතුටින්නෙ ඉදල තියෙන්නෙ කියලා. මම උත්සාහ කරන්නෙ තනිවෙලා කල්පනා කරන්න තියෙන කාලය අඩු කරගන්න. ඉතින් මම යාලුවත් එක්ක concert ගිය වෙලාවේ මගේ තව යාළුවෙක් කතා කරලා කියනවා අපි ඉන්න apartment complex එකේ WhatsApp ගෲප් එක බලන්න කියලා. ඒකෙ මසේජ් එකක් තියනවා ශිෂ්යයකුට තමන්ගේ පෝස්ට් බොක්ස් එකට ලැබුණු තමන්ට අයත් නොවුන ලියුමක් ගැන. ඒ ලියුම මගෙ නමට තියෙන්නෙ. ඒක දැකපු මගේ යාළුවෙක් තමයි මට කෝල් කරන්නෙ. මං WhatsApp මසේජ් එක බලනකොට ඒක fündburo එකකින් මට ලැබුණු ලියුමක්. ඒක දැකපු ගමන් මට තේරෙනවා මේ මගේ වොලට් එක ගැන කියලා. ලියුමට මගෙ නම සහ ලිපිනය අරන් තියෙන්නෙ මගෙ resident permit එකෙන්. ඒකෙ තියෙන්නෙ නම් කෑලි හතරක් තියෙන දිග නම. ඉතින් ඒ සම්පූර්න නමම ලිපිනයට දාපුවම, ලියුම් බෙදන්නට මගෙ පෝස්ට් බොක්ස් එක හොයාගන්න අමාරු වෙලා, එයා ඉතින් එයා කැමති කෙනෙක්ගෙ පෝස්ට් බොක්ස් එකට ලියුම දාලා ගිහින්. ලගටම ගෙනාපු එකේ ලියුම කොහොම හරි මට ලැබෙයි කියලා උන්දෑ හිතන්න ඇති 🙄 මං එදා concert එක බලල ගෙදර එන ගමන් ලියුම ලැබුනු යාලුවා හම්බෙන්න ගිහිල්ලා මගේ ලියුම ගන්නවා. ලියුම දිනය තියෙන්නෙ ජූලි 7 වෙනිදා, ඒ කියන්නෙ වොලට් එක නැතිඋනු දවසට පහුවදා,මගෙ කතාව තිබ්බ දවස. ලියුම එවලා තියෙන්නේ දුම්රිය ස්ථානයේ fündburo එකෙන්. මගේ වොලට් එක අහුලපු කෙනා එතනට බාරදීලා තියෙනවා. මම පහුවදා උදේම යනවා දුම්රිය ස්තානයේ fündburo එකට. නිලදාරිනියක් මගේ වොලට් එක අරන් එනවා දැක්කහම මට සැනසුම් සුසුමක් හෙලෙනවා, පුදුම සහනයක් හිතට දැනෙනවා. මගේ සියලුම cards, documents සහිතව වොලට් එක ලැබෙනවා හැබැයි යූරෝ දෙසීය පහ නැතිව.
ඒක අරන් කෙලින්ම බැංකු වලට යන මම මගේ බ්ලොක් කරපු කාඩ්ස් ආපහු අන්බ්ලොක් කරගන්නවා. ක්රෙඩිට් කාඩ් එකක් ආපහු ඇනවුම් කරනවා. ඊට පස්සේ මං එනවා පොලිස් ස්ථානයට. ඇවිල්ලා මගේ වොලට් එකයි resident permit එකයි ලැබුණ බව හා ලැබුන හැටි දැනුම් දෙනවා. fündburo එකෙන් ලැබුන ලියුමෙ ඡායාපිටපතක් ගන්න පොලිස් නිලදාරීන් සල්ලි නැතිව අන් සියල්ල ආපහු ලැබුනු බව සදහන් උනු ලිපි වලට මගේ අත්සන් අරගෙන මගේ වොලට් එකේ පැමිනිල්ලෙ කටයුතු නිමා කරනවා.
ඉතිං ඊට පස්සේ මට ඇති වෙන්නේ ආපහු එක එක දේවල් හිතන කාලයක්. කලින් වොලට් එක නැතිවෙලා තිබුණු කාලයෙ මට හිතෙනවා ඇයි මම එක දත්තයක් ගන්න එදා පර්යේශන ආයතනයට ගියෙ කියලා. ඇයි පිට වෙන්න කලින් bag එක වහලද නැද්ද බලන්න බැරි උනේ කියලා හිතෙනවා. අනේ resident permit එක විතරක් හම්බුනා නං ඒ ඇති කියලා. ඊට පස්සේ හිතෙනවා නෑ resident permit එකත් හදාගත්ත හැකි, අර 1993 ඉඳන් තිබුණු සංකේතය තිබ්බනං ඇති කියලා.
දැන් ඒ ඔක්කොමත් ආයෙ හම්බෙලා තියෙද්දි , අයියෝ අර යුරෝ දෙසීය අපරාදෙ එතන තියෙන්න ඇරියෙ කියලා හිතෙනවා. ඒක දැකපු වෙලාවේ ආපහු බැංකුවට දාන්න තිබ්බා කියලා හිතෙනවා. මගේ ප්රංශ යාළුවෙක් ඉන්නවා නිතර කියනවා ඔයා එහෙ මෙහෙ යනවා මං මෙච්චර කියනවා පැරිස් එන්නෑ කියලා. එතකොට මම ඒ යාලුවට කියන්නෙ පැරිස් එන්න නිකං අත වන වන බැහැ, සල්ලි ගොඩක් එක්ක එන්න ඕන කියලා.ඉතින් දැන් මට හිතෙනවා අර යූරෝ දෙසීයට තව කීයක් හරි දාලා පැරිස් ගිහින් එන්න තිබ්බා නේද කියලා. ආයෙ හිතෙනවා හොඳට කන්න බොන්න තිබ්බා කියලා. ඔය විදිහට implement නොකරපු සෑහෙන ව්යාපෘති ප්රමානයක් අර යූරෝ දෙසීයෙන් කරන්න තිබ්බ කියල තමයි දැන් හිතෙන්නේ😎 කොහොමහරි ඊයේත් මම හස්බන්ඩ්ට ඔය යුරෝ දෙසීය ගැන කියන්න ගිහිල්ලා හස්බන්ඩ් කිව්වා "මෙයා යුරෝ දෙසීයක් නැති කරගෙන පුදුම කන්කරච්චලයක් සතියක් තිස්සෙ" කියලා. මට ඒ වෙලාවේ හිතුන දැන් සුමානෙකුත් ගතවෙච්ච එකේ, අනිත් සේරමත් ලැබුනු එකේ, යුරෝ දෙසිය අමතක කරන්න කාලෙ හරි කියලා. ඉතින් Once and forever කියලා, අන්තිම වතාවට ඒ ගැන මෙතන ලියලා, මම ඒක අමතක කරනවා.
ආහ් ඒ වොලට් එකත් මම අයින් කරා,නැත්නම් ඕක දකින ගානටත් මට ඔය යූරෝ දෙසීය මතක් වෙනවා. මට ඇත්තටම සල්ලි වලින් උනු පාඩුවටත් වඩා දුක හිතෙන්නෙ, මගෙ නොසැලකිලිමත්කමින් උනු දෙයක් කියලා මට හිතෙන එක. අනිත් එක තමයි මේ වගේ දෙයක් උනාම අපේ හිත ක්රියාකරන හැටිත් මහ පුදුමාකාරයි.
කතාවේ හැමතැනකම ඔයාලට පේනවා ඇති බොහෝ දේවල් මම කරලා තියෙන්නේ වැඩි පරිස්සමට, වැඩි හොඳට. පරිස්සමට තිබ්බ දේ ඈලියාවට ගියා කියලා සිංහල භාෂාවේ උපමාවක් තියෙන්නෙ මේ වගේ දේවල් වලට වෙන්න ඇති😎
👛 චායාරූපයේ වම් පැත්තෙ තියෙන්නෙ නැති උනු ලොකු වොලට් එක. ඒක ECHT LEDER සන්නාමයේ වොලට් එකක්. කැමති කෙනෙක් ඉන්නවා නම් දෙන්න පුලුවන්😉

No comments:

Post a Comment

ස්තූතියි 2023❤️

 ස්තූතියි 2023 ❤️ එක පාරටම බ්ලොග් එකක් පටන් ගත්තට මොකද ඒක ලත් තැනම ලොප් උනා වගේ එතනම නැවතුනා. ඒකට හේතුව වුණේ මම මේ රටට ආපු හේතුව උනු මාස්ටර්...