හිම ❄️
අද උදේ නැගිට්ටෙ හිමේ සෙල්ලම් කරමුද අහන්න දුවගෙ යාලුව රෝසා ගත්ත දුරකතන ඇමතුමකින්. දැන් දිගටම හිම වැටෙන්න අරන්. දුව ඇද පැලදගෙන ගියාට පස්සෙ කෝපි කෝප්පයකුත් හදාගෙන ජනේලෙ ගාව තියෙන පුටුවෙන් වාඩිඋනා. මුලු පරිසරයම සුදු පාටයි. බලන්න ලස්සන හිම. ගස් වල අතුවල රැදුනු හිම පොකුරු.
හිම දකින වාරයක් ගානෙ මට මතක් වෙන පරිසරයක් තියෙනවා. මතක් වෙන රටක් තියෙනවා. අවුරුදු තිස් ගානක් වෙනකම්ම හිම දැකල තිබ්බෙ නැති මම ඉස් ඉස්සෙල්ලාම හිම දැක්කෙ අතගෑවේ මීට හරියටම අවුරුදු දහයකට කලින් ජපානයේ කවගුචිකෝ ගමේදි. එතැනට ගියෙ ෆූජියාමා කන්ද බලන්න පුංචි කාලෙ ඉදන් තිබ්බ ආසාවක් හැබෑ කරගන්න. Bucket list කියල එකක් අහල වත් නැති කාලෙක, 1993 ලංකාවේ පලවුනු සමුදුර පත්තරේ තිබුනු, national geographic සගරාවේ ලිපියක් ආස්‍රයෙන් කවුරු හරි ෆූජියාමා කන්ද ගැන ලියපු ලිපියක් කියවල ඒ එක්ක තිබ්බ ලස්සන පින්තූර දැකල ඇති උනු ආසාවක් ඒක. එතකොට මට වයස අවුරුදු එකොලහයි. එතැනට ගිහින් ජීවමානව ඒ පරිසරයේ අසිරිය විදිනකොට වයස තිස් තුනයි.
ගුවන් තොටුපලේ ඉදන් දුමරියෙන් ගිහින් කවගුචිකෝ ගමේ නැවතුම්පලෙම් බැහැලා එලියට ආපු ගමන්, හිම අහුරක් අතට අරන් ගත්තු පින්තූරය තමයි මේ ලියමනට ඇමුනුවේ. ඒක මට විශේශ පින්තූරයක්. අද හිම හැමතැනම දැකල විශේශයක් නැති වෙලාම ගිහින්. නමුත් ඉපදුනු දා ඉදන් සමකයට ආසන්න රටක හැදිල වැඩිල කවදාවත් හිම හැබැහින් දැකල තිබ්බෙ නැති මට, අවුරුදු තිස් තුනේදි ලබපු ප්‍රතම හිම අත්දැකීම් හරිම ලස්සනයි. මම අත්වැසුම් නැතිවම හිම ඇල්ලුවා, හිමේ ඉදගත්තා, හිමේ පෙරලුනා, හිම මිනිසුන් හැදුවා.
අද හිම දැක්කම, ඒකේ විශේශත්වයක් නැති උනත්, එදා ඒ ඇති උනු හැගීම අදටත් මතක් වෙනවා. එහෙම මතක් වෙද්දි, ජීවිතේ යම් කලකදී හිත උනුසුම් කරන දේවල් තවත් කලකදී ඉතාම සාමාන්‍ය කාරනා වෙලා යන හැටි ගැන මට ඇති වෙන්නෙ පුදුමයක්. කාලයේ බලපෑම වෙන්නැති !
චායාරූපය - කවගුචිකෝ ගමේදි අතට ගත්තු පලවෙනි හිම අහුර ❄️ 2016 ජනවාරි

No comments:
Post a Comment