සමුදුර
උදේ හිම දැකලා ලියනකොට සමුදුර පත්තරය ගැන මතක් උනා. මම මේ පිටුව පටන් ගත්තේ මගේ ජීවිතයේ අත්දැකීම් ලියල තියන්න. සමුදුර කියන්නේ ජීවිතයේ ලබපු රසවත් අත්දැකීමක් වගේම ලොකු motivation එකක් දුන්නු පත්තරයක්. සමුදුර ළමා කාලයේ මම ආසාවෙන්ම කියවපු පත්තරය. සමුදුර එක්කම බදාදට විදුසරත් ගත්තා උනත් වඩාත්ම ආසාවෙන් ඉස්සෙල්ලම කියෙව්වේ සමුදුර.
අන්තර්ජාලය නොතිබුණු කාලෙක ඡායාරූප බලන්න,සිංහලෙන් ලිපි කියවන්න අපට තිබුණු හොඳම පත්තරයක් තමයි සමුදුර. මං පත්තරය ගන්න පටන් ගත්තෙ 1993. ඒ දවස් වල පලවුනේ බදාදට මතක හැටියට, මිල රුපියල් හයයි මුලින්, පසුව රුපියල් දහයක් උනා. පත්තරය ගැන මම දැනගත්තේ ඒ දවස් වල පාසලේ මගෙ හොදම මිතුරියගෙන්. ඇය දවසක් මේ පත්තරයකුත්, මුතුහර සගරාවකුත් පාසැලට ගෙනවා, මට කියවන්නත් දුන්නා.මේ වෙලාවෙ ඇයවත් මතක් වෙනවා වගේම ස්තූතිවන්ත වෙනවා ඇයට.
සමුදුර පත්තරයේ පළවුණේ National geographic, Times, Readers digest වගේ ලෝක ප්‍රකට සඟරාවල ලිපිවල සිංහල අනුවාද, ලස්සන ඡායාරූපත් එක්කම. මේ වගේ සඟරා ලෝකයේ තියෙනවා කියලා මං දැනගත්තෙත් මේ පත්තරය නිසා. මේ පත්තරේ පළවුණු ආසාවෙන්ම කියවපු ලිපි පෙළක් තමයි Chicken soup for soul කියන පොත් වල සිංහල අනුවාද. පසු කාලෙක ඒ පොත් මාලාවේ පළවෙනි පොත මිලදී අරගෙන කියවන්නටත් මට මේ පත්තරයෙන් කියවල තිබ්බ ලිපි පෙළඹවීමක් ඇති කරා.
වර්තමානයේ ලාංකීය සමාජ මාද්‍ය වල සතියකට මාතෘකාවක් උනුසුම් වෙනවා වගේ ඒ දවස්වල සමුදුර පත්තරෙත් කාලීනව සිදුවෙන සිදුවීම් ගැන ලොකුවටම අතිරේක පලවුනා. බ්‍ර්තාන්‍යයේ ඩයනා කුමරිය සහ ඉන්දියාවේ තෙරේසා මව්තුමිය යන දෙදෙනාම මියගිය 1997 අවුරුද්දේ දෙදෙනා වෙනුවෙන් චායාරූප විශාල ප්‍රමායක් එක්ක විශේෂ අතිරේක පළ වුණා මට හොඳටම මතකයි. එක කලාපයක දැන් ඉන්න බ්‍රිතාන්‍ය රැජින ගැන අපහාසාත්මක වැකි එක්ක චායාරූප පල කරල තිබුනා. ඒකෙ තිබුනෙ "ඩයනා නැති කලේ, කැමිලා මැටි කලේ" කියලා. ඇය පෞරුශත්වයෙන් ඉතාම සුන්දර කාන්තාවක් බව පසු කාලීනව කියවන්නට ලැබුනත් ඇගේ චායාරූප දකින හැම වතාවකම මට සමුදුර පත්තරේ වැකිය මතක් වෙනවා, හිනා යනවා.
ජීවිතයේ පසු කාලයක සමුදුර ලිපි වලට පසුබිම සැපයූ මුල් ඉංග්‍රීසි සඟරාවල් කියවන්න මට ආස හිතුනේ පත්තරේ තිබුණු ලිපි වලින් පෙලබවීමක් තිබූ නිසා. ඒ තැන් වලට කවද හරි යන්න ඕන කියලා වයස අවුරුදු එකොහලක මට ඒ තරම් පුංචි වයසකදී හිතට ආවේ ඒ චායාරූප දැකලා.
මුල් කාලයේ ස්වාධීනව පළවුනු මේ පත්තරේ පසු කලෙක තවත් පත්තරේක අතිරේකයක් බවට පත්වෙනවා. ඊට පස්සේ මුල් කාලේ පත්තරේ තිබුණු තත්ත්වය බාල වුනු බවයි මගේ හැඟීම. ඊට පස්සේ මං පත්තරේ ගන්න එක නවත්තල දානවා. නමුත් අවුරුදු ගණනාවක් ගත්ත පත්තර විශාල ප්‍රමානයක එකතුවක් සෑහෙන කාලයක් අපේ මහ ගෙදර තිබ්බා.මට නිවාඩුවක් ලැබුණහම මං ඒ පත්තර ආපහු පෙරලලා කියපු වාර අනන්තයි. පසු කලෙක ඒ පත්තර මිටිය වේයොත් කාලා විසි කරල දාන්න උනා කියලා අම්මා කිව්වා. ඒ වෙලාවෙ හිතට සියුම් දුකක් දැනුනු බව අදටත් මතකයි.
චයාරූපය - 1993 නොවැම්බර මස පලවූ කලාපයක් අන්තර්ජාලයෙන්



